ගොසිප්

ආමීර් – කිරාන් දික්කසාද වෙයි

ඉන්දියානු සිනමාවේ ප්‍රබල යුවළක් වන ආමීර් ඛාන් සහ කිරාන් රාඕ සිය දික්කසාදය පිළිබඳ පුවත මාධ්‍යයට අනාවරණය කරනු ලැබ තිබේ. ඔවුන් දෙදෙනා ගේ විවාහයේ වයස අවුරුදු පහළොවකි. ඔවුහු කුලියට ගත් ගර්භාෂයක් හරහා ලබා ගත් පුතු අසාඞ් ගේ වයස මේ වන විට අවුරුදු දහයකි. ඔවුහු වෙන් වුව ද දෙදෙනා සහයෝගයෙන් ඔහු රැකබලා ගන්නා බැව් ප්‍රකාශ කළහ.
“මේ සුන්දර අවුරුදු පහළොවක කාලෙ ඇතුළත අපි ජීවිත කාලයක සතුට, විනෝදය පිරුණ අත්දැකීම් ලබා ගත්තා.. අපේ සම්බන්ධය වැඩුණෙ විශ්වාසය, ගරුත්වය සහ ආදරය මත.. ඒත් දැන් අපිට අපේ ජීවිතවල අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න ඕන වෙලා තියෙනවා.. ඒ අඹුසැමියෝ විදියට නෙමෙයි.. අපි දෙන්නා දෙමව්පියන් විදියට සුහදව කටයුතු කරනවා.. ඒ වගේම අපි දෙන්නට වෙනම පවුල් දෙකකුත් ලැබේවි..”
ඔවුන් දෙදෙනා එක්ව සිය දික්කසාදය ගැන කරනු ලැබූ ප්‍රකාශයේ එසේ සඳහන් වී තිබිණි.
කිරාන් සහ ආමීර් හමු වූයේ වාණිජ වශයෙන් අතිසාර්ථක චිත්‍රපටියක් වූ ලගාන් හි දර්ශන තලයේදීය. ඒ වන විට ආමිර් ඛාන් විවාහක දෙදරු පියෙකු වූයේය. ලගාන් නිෂ්පාදනය කරනු ලැබුවේ ඔහුගේ බිරිඳ රීනා දත්තා විසිනි. කිරාන් එහි සහාය අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කළාය.
1986 දී රීනා සමඟ විවාහ වූ ආමීර් 2002 දී ඇය දික්කසාද කර 2005 දී කිරාන් විවාහ කර ගත්තේය. ඔහුගේ මුල් විවාහයත් පැවතුණේ අවුරුදු පහළොවකි. දරු දෙදෙනා වන ජුනයිඞ් සහ අයිරාගේ භාරය රීනාට පැවරිණි. එහෙත් අසාඞ්ගේ භාරය ආමීර් සහ රීනා සමව දරන්නට එකඟ වී තිබේ.
“අපි සෑහෙන කාලයක් දික්කසාදය සැලසුම් කළා.. මේ තමයි වෙන්න හොඳම කාලෙ කියලා අපිට දැනුණා.. වෙනවෙනම ජීවත් වුණත් අපි පුතා වෙනුවෙන් ඇපකැප වෙනවා.. චිත්‍රපටිවල එකට වැඩ කරනවා.. ඒ වගේම පානී පදනම හරහා අපේ සමාජ සත්කාර කටයුතුත් කරගෙන යනවා..” ඔවුහු ප්‍රකාශ කරති.
ආමීර් ඛාන්ගේ චිත්‍රපටි නිෂ්පාදන ආයතනයේ සහාය නිෂ්පාදිකාව වූයේ කිරාන් රාඕය. ඔවුහු වාණිජ වශයෙන් සාර්ථක වූ චිත්‍රපටි කිහිපයක්ම නිර්මාණය කළහ. කිරාන් තිර රචිකාවක ද වන්නීය. සැබැවින්ම ඔවුහු දෙදෙනා එකිනෙකාට ආදරය කළා පමණක් නොව හැඟීම්වලට ද ගරු කළහ. ඉස්ලාම් භක්තිකයෙකු වන ආමීර් මස්මාංශ පරිභෝජනය අත් හැර දැමුවේ හින්දු භක්තික කිරාන් වෙනුවෙනි.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශවල නියඟයෙන් පීඩා විඳින මිනිසුන්ට පිහිට වීම පිණිස ඔවුහු සංවිධානයක් පිහිටුවා ගත්හ. පානී පදනම ලෙසින් හැඳින්වෙන්නේ එම සංවිධානයයි.
තමන්ට සහයෝගය දුන් පවුලේ අය සහ හිතවතුන්ට ස්තුති කරන කිරාන් සහ ආමීර් තව දුරටත් ඔවුන්ගේ ආශීර්වාදය ඉල්ලා සිටියහ. දික්කසාදය යනු අවසානයක් නොව අලුත් ගමනක ඇරඹුම බැව් ඔවුහු කියති.
රීනා දත්තා හා දික්කසාද වූවාට පසුව ඔහුට හිත හදා ගන්නට උදව් කරන ලද්දේ සල්මන් ඛාන් විසිනි. අන්දාස් අප්නා අප්නා චිත්‍රපටිය රූගත කරද්දී ඇති වූ සිදු වීමක් නිසා මේ මිතුරෝ දෙදෙනා මඳ කලක් ඈත් වී සිටියහ. එහෙත් දික්කසාදයෙන් පසුව ආමීර් බොහෝ සෙයින් සිතින් වැටී සිටියදී සල්මන් නැවත ඔහුට ළං වූයේය.
“අපි දෙන්නා හම්බ වෙලා ඩ්‍රින්ක්ස් ගත්තා.. ඊට පස්සෙ ආයෙමත් හොඳ මිතුරුදමක් ගොඩ නැගුණා.. ඒක දවසින් දවස වර්ධනය වුණා මිසක් කඩා වැටුණෙ නෑ..”
ආමීර් පවසා තිබුණේ කරන් ජෝහාර්ගේ රූපවාහිනී වැඩ සටහනටය.
දෙවැනි දික්කසාදයේදීත් ආමීර්ට හිත හදා ගන්නට සල්මන් උදව් කරනවා නියතයයි බොහෝ දෙනෙක් කියති.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top