ක්‍රීඩා

අපේ කාලයේ දේශපාලන හැප්පීම් තිබුණත් වගකීම වුණේ ක්‍රිකට්‌ ගහන එක – කුමාර් සංගක්‌කාර කියයි

UTV | COLOMBO – “96-99 කාලයේදී ක්‍රිකට්‌ වෙනස්‌ වුණත් අදහස්‌ වෙනස්‌ වුණේ නැහැ. ජයසූරියගේ නායකත්වයෙන් තමයි ක්‍රිකට්‌ වෙනස්‌ වුණේ.”

තමා ක්‍රීඩා කරන කාලයේ දේශපාලන හැල හැප්පීම් තිබුණත් රාජකාරිය සහ වගකීම වුණේ ක්‍රිකට්‌ ගැසීම බව හිටපු ක්‍රිකට්‌ නායක කුමාර් සංගක්‌කාර පවසයි. බී.සී.සී. සිංහල මාධ්‍ය හමුවේ විශේෂ සාකච්ඡාවකට එක්‌වෙමින් කුමාර් සංගක්‌කාර මෙම අදහස්‌ පළ කර සිටියේය.

“දේශපාලන හැල හැප්පීම් අපි ක්‍රිකට්‌ ගහන කාලයේ තිබ්බ එක ඇත්ත. මම නායකත්වය දරන කාලයේ විතරක්‌ නෙමෙයි දේශපාලන හැල හැප්පීම් තිබුණේ. මහේල ජයවර්ධන, සනත් ජයසුරිය, මාවන් අතපත්තු, හෂාන් තිලකරත්න වැන්නන් නායකත්වය දරන කාලයේත් ඒවා තිබ්බා. නමුත් අපේ වගකීම වුණේ ක්‍රිකට්‌ ගහන එක. හැබැයි එහෙම කියලා මම කවදාවත් දේශපාලකයන්ව පහත් කරලා සලකන්නේ නැහැ.” යෑයි සංගක්‌කාර එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කුමාර් සංගක්‌කාර ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් විශ්‍රාම යැමෙන් පසුව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ බිඳ වැටීමක්‌ ඇති වූ බවට කරන චෝදනාව ඔහු ප්‍රතික්‌ෂේප කරයි. තමාට විශ්‍රාම යැමට තිබු කාලයටත් වඩා මාස හයක්‌ වැඩිපුර ක්‍රිකට්‌ ක්‍රීඩා කළ බවත් සංගක්‌කාර පවසයි.

“සමහර වෙලාවට ක්‍රීඩාවෙන් අයින් වෙලා ගියම ක්‍රීඩකයෙක්‌ ලෙස සමහර ක්‍රීඩකයන්ට බයක්‌ එන්න පුළුවන්, අපිට වඩා අලුත් අය හොඳ වෙයිද? අපිට වඩා ලෝක කුසලාන මේ අය දිනයිද? කියලා. එතකොට අපිට මොනවද වෙන්නේ?, අපිට වඩා හොඳින් ක්‍රීඩකයෙක්‌ ක්‍රීඩා කරනකොට වැඩි වැටුපක්‌ ගන්න කොට අපි හිතන්න ඕන අපි හරි දෙයක්‌ කළ නිසා තමයි එහෙම වෙන්නෙ කියලා.” යෑයි සංගක්‌කාර විශ්‍රාම ගිය ඇතැම් ක්‍රීඩකයන්ගේ මනස සම්බන්ධයෙන් පිළිතුරක්‌ අදාළ මාධ්‍ය හමුවේදී පැවසීය.

ඕනෑවට වඩා ක්‍රිකට්‌ ක්‍රීඩාවට උදව් කිරීමට යැමෙන්ද ප්‍රවේශම් විය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

“සමහර විට අපි ක්‍රිකට්‌ ගහපු නිසා හිතන්න පුළුවන් අපි හැමදේටම කතා කරන්න ඕන උදව් කරන්න ඕන කියලා. එහෙම වුණාම අවශ්‍ය දේට විතරක්‌ නෙමෙයි අනවශ්‍ය දේටත් උදව් කරන්න යනවා කතා කරන්න යනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතුයි.”

ශ්‍රී ලාංකීය ක්‍රිකට්‌ වෙනස 1999 න් පසුව ඇරඹු බවද සංගක්‌කාර සිහිපත් කරයි.

“99 න් පස්‌සෙ සනත් ජයසුරිය නායකත්වය භාර ගත්තා. එතැන් සිට කණ්‌ඩායමේ මතය වුණේ අදහස්‌ වලින් සහ ක්‍රීඩා විලාශයෙන් වෙනස්‌වීමට ඉඩ දෙන්න ඕන කියන ප්‍රතිපත්තියයි. 96-99 කාලයේ ක්‍රීඩාවෙන් වෙනස්‌ වුණාට අදහස්‌වලින් වෙනස්‌ වීමට ඉඩ තිබුණේ නැහැ. ඒ නිසා 96 දී අපි ලෝක ශූරතාව දිනුවත් 99 දී පළමු වටයෙන්ම ඉවතට විසි වුණා. නමුත් 99 න් පස්‌සෙ හැම ලෝක කුසලාන තරගාවලියකම අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා.”

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top