දේශීය

අද සිට අයවැයෙන් අනුමතව ක්‍රියාත්මක සහන ණය

(UTV |කොළඹ) – රාජ්‍ය හා පෞද්ගලික අංශ​යේ සේවයන්ට 6.25% පොලියට සහ දේපොළ මත නිවාස ණය වෙනුවෙන් 7% පොලියට සහන ණය ලබාදීම ඇතුළු අයවැය යෝජනා රැසක් අද (11) සිට ක්‍රියාත්මක කෙරේ.

මුදල් අමාත්‍යාංශ සඳහන් කළේ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන නිවාස මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 100කට උපරිමයකට යටත්ව ණය ලබාදෙනු ඇති බවයි.

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව මගින් 6.25% සහන පොලියට මෙම නිවාස ණය නිකුත් කිරීමට නියමිතය.

එසේම මේ වන විටත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව දේපළ උකස ට තබා ලබාගන්නා නිවාස ණය වෙනුවෙන් 7% සහන පොලියක් අයකිරීමේ වැඩසටහනද අද සිට ක්‍රියාත්මක කරයි.

සූර්ය බලශක්තිය උපයෝගී කරගනිමින් විදුලිය බලය නිපදවීම, ප්‍රවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ රාජ්‍ය සේවකයන්ට 4%ක පොලියකට සූර්ය පැනල ලබාගැනීමේ ණය මුදලක් නිකුත් කිරීමටද ආරම්භ කෙරේ.

රුපියල් හත් ලක්ෂ පනස්දහසකට උපරිමයකට යටත් මෙම ණය මුදල ආපසු ගෙවීමේ කාලසීමාව වසර 10කි.

එසේම කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් රාජ්‍ය සේවකයකු මරණයට පත්වුවහොත් අග්‍රහාර රක්ෂණ පහසුකම යටතේ රුපියල් ලක්ෂ 7ක වන්දියක් ලබාදීම සහ කොවිඩ් 19 නිසා රෝහල්ගත වන රාජ්‍ය සේවකයන්ට දින 10ක කාලයක් වෙනුවෙන් දිනකට රුපියල් 3000ක දීමනාවක් ලබාදීම අද සිට ක්‍රියාත්මක වෙයි.

‘තුරුණු දිරිය’ වැඩසටහන යටතේ තරුණ ව්‍යවසායකයන්ට 4%ක සහන පොලියට රුපියල් ලක්ෂ 5ක් දක්වා කඩිනම් ණය නිකුත් කිරීමද ආරම්භ වේ.

එසේම ‘කිරිශක්ති’ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 10ක උපරිමයකට යටත්ව කිරිගවයන් මිලදී ගැනීම සහ අභිජනනය ඇතුළු ආශ්‍රිත කටයුතු වෙනුවෙන් ණය නිකුත් කිරීමද සිදු කරනු ලබයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top