දේශීය

අතරමැදියන් ඉවත් කර ඖෂධ සැපයුම විධිමත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

(UTV | කොළඹ) – අතරමැදියන් ඉවත් කර ඖෂධ සැපයුම විධිමත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා ඖෂධ සංස්ථාවල සභාපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.

ඒ අද (21) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳව විමර්ශනයක නිරත වෙමින්.

එහිදී ජනාධිපතිවරයා කළ විමසීමකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියාසිටියේ රාජ්‍ය අංශයේ නිෂ්පාදන පෞද්ගලික අංශයේ නිෂ්පාදන සහ දෙඅංශයම කරණ ආනයන වශයෙන් ඖෂධ සැපයුම ක්‍රමවේද 3කට සිදුවන බවයි.

රට තුළ ඖෂධ වර්ග 750ක් පමණ භාවිත වන අතර ආනයනයේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස කිහිපයක් ගතවන බැවින් ඇතැම්විට හිඟයක් ඇතිවන බව ද සභාපතිවරයා පෙන්වා දුන්නා.

ඖෂධ සැපයුමේ කිසිදු හිඟයකට ඉඩ නොතබන ලෙසට ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

සියලු ඖෂධ ඉහළම ප්‍රමිතියෙන් තිබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ගුණාත්මක අගයෙන් බාල ඖෂධ නිෂ්පාදනයට හෝ ආනයනයට හෝ ඉඩ නොතබන ලෙස ද අවධාරණය කළේය.

හිඟයක් ඇතිවීම වළක්වනු පිණිස ආරක්ෂිත තොග පවත්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා ඖෂධ කල් ඉකුත්වීමේ දින ගණනය කොට ඇණවුම් කළයුතු බව පෙන්වා දුන්නේය.

අතරමැදියන් කිහිප දෙනෙකුගේ ලාභය නොව ජනතාවගේ පාර්ශවයෙන් බලා ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම විධිමත් කළ යුතු බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මෙහිදී සඳහන් කළේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග 80ක් තම ආයතනය නිෂ්පාදනය කරන බවයි.

සේලයින් ඇතුළු තවත් බොහෝ වෛද්‍ය සැපයුම් දේශියව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් වසරකට රුපියල් කෝටි 130ක් පමණ ඉතිරි කර ගැනීමට හැකි වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top