දේශීය

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරනවා – ජනපති

 

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ 2024 අයවැය යෝජනාවක් වන “උරුමය” වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අනුරාධපුර නොච්චියාගම දී අද (26) ආරම්භ කරමිනි.

 

ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

ෂැංග්‍රිලා හෝටලය සතු ඉඩම සින්නක්කරව පැවරීමට හැකියාව තිබුණේ නම් පරම්පරා ගණනක් අපේ රටේ ගොවිතැන් කළ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ වරද කුමක්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කර තිබේ.

 

ෂැංග්‍රිලා සතු ඉඩමෙන් ශ්‍රී ලංකාවට ද විදේශ විනිමය ලැබෙනවා සේම නවීන කෘෂි කර්මාන්තය තුළින් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

 

රටේ ගොවිතැන් කරන ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ උරුමය ලබාදීමක් මෙන්ම රජයේ ස්තුතිය පුදකිරීමක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

 

“උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර තිබේ.

 

විදේශිකයන් ශ්‍රී ලංකාවේ ඉඩම් ඔවුන්ගේ යටතට පත්කර ගැනීමෙන් පසුව එම ඉඩම්වල වගා කිරීම සඳහා මෙරට ස්වදේශික ජනතාව වෙත බලපත්‍ර ලබාදීම සිදු කර තිබිණි.

 

නමුත් 1935 වසරේ ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් ස්වදේශිකයන් වෙත ඉඩම් ඔප්පු ලබා දීම සඳහා තවත් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී තිබූ අතර එහිදී ඉඩම් හිමි ජනතාවට වගා කටයුතු කිරීම සහ නිවාස ඉදිකර ගැනීමට හැකියාව තිබේ.

 

නමුත් එම ඉඩම පැවරීමේ හෝ විකිණීමේ බලයක් ඉඩම් හිමි ජනතාවට නොතිබිණි.

 

මෙතෙක් කල් පැවති ජයභූමි ,සෞම්‍ය භූමි,ස්වර්ණභූමි ඇතුළු සියලු ඔප්පු වෙනුවට සින්නක්කර ඔප්පු ජනතාවට ලබා දීම 2024 අය වැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ.

 

ඒ අනුව මෙම ඔප්පු ලබා ලබාදීමේ වැඩපිළිවෙල 2024 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

 

අද මෙතනට රැස්වුණේ මෙම ප්‍රදේශයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම පිළිබඳව සාකච්ඡා කිරීමටයි. පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව සියලුදෙනා අද මෙතනට රැස්වී සිටිනවා. අද අපට තිබෙන්නේ රටට වැඩ කිරිමටයි.මම ආණ්ඩුව බාරගන්නා විට රට කඩා වැටිලා තිබුණේ. අද තිබෙන තත්ත්වයට අපට රට ගෙන ඒමට හැකි වෙයි කියා කිසිවෙකුත් සිතුවේ නැහැ. ලබන මාසය වන විට අප රට බංකොළොත්භාවයෙන් නිදහස් වීමට නියමිතයි. අදාළ රටවලින් ඊට අවශ්‍ය ප්‍රතිචාරය මේ වන විට දක්වා තිබෙනවා. එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපට තව විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා.

 

මීට පෙර ආණ්ඩු හැදුවේ එක් පක්ෂයක සහාය මතයි. නමුත් මට සෑම පක්ෂයකින්ම සහාය ලබා ගැනීමට සිදු වුණා. එලෙස කණ්ඩායමක් සමග අප මෙම ගමන ආවා. ඒ පිළිබඳ අප සියලු දෙනාට සෑහීමකට පත්විය හැකි අතර, වරද කාගේ වුණත් අප දැන් අපේ වගකීම ඉටු කර තිබෙනවා.මෙම ආර්ථික අර්බුදය හමුවේ අපට සංවර්ධන කටයුතු නැවැත්වීමට සිදුවුණා. දැන් බංකොළොත්භාවය අවසන් වන නිසා අපට එම නවතා තිබු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනවා.

 

ඒ වගේම මෙම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මල්වතු ඔය සහ මහා විහාරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන් ලුම්බිණියේ මායා දේවි විහාරස්ථානයේ කැණීම් කටයුතු සිදු කළ විශ්වවිද්‍යාලය සමඟ මහා විහාරයේ කැණීම් කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරනවා. මල්වතු ඔය කියන්නේ සිංහල ශිෂ්ටාචාරය ආරම්භ වූ තැනයි. මහා විහාරය කියන්නේ ථෙරවාද බුදු දහමේ කේන්ද්‍රස්ථානයයි. මේ ස්ථාන දෙක ආරක්ෂා නොකර කුමන සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කළත් වැඩක් නැහැ. ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන එකහමාරක් මෙවර අයවැයෙන් ලබා දී තිබෙනවා. මෙහි අරමුණ වන්නේ ගම්බද පාසල් වල ක්‍රිකට් දියුණු කිරීම මගින් අනාගතයට අවශ්‍ය ක්‍රීඩකයන් නිර්මාණය කිරීමයි.

 

අප ආර්ථික ක්‍රමයේ වෙනසක් ඇති කළා.ඒ වගේම සමෘද්ධිය වෙනුවට අස්වැසුම ඇතිකර ජනතාවට ලබාදෙන මුදල් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කළා. කෘෂි කර්මාන්තය වෙනුවෙන් ලබාදෙන මුදල් ගොවි ජනතාවගේ බැංකු ගිණුම් වෙතම යොමු කළා. ගොවි ජනතාවට ඉඩම් සින්නක්කරව ලබා දෙනවා වගේම නාගරික ප්‍රදේශවල කුලී පදනම මත මහල් නිවාසවල සිටින ජනතාවගේ නිවාස සින්නක්කරව එම ජනතාවට ලබාදීමටත් යෝජනා කර තිබෙනවා. මෙතන සිටින ගොවි ජනතාවගේ දෙමව්පියන් 60 දශකයේ දී මැලේරියාව නිසා දුක් වින්දා. ඉන් පසුව ත්‍රස්තවාදී කරදර නිසා දුක් වින්දා. නමුත් ඔවුන් ගොවිතැන අමතක කළේ නැහැ. රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය ඔවුන් දිගටම සිදුකරගෙන ගියා. එයට කරන ජාතියේ ස්තුතියක් ලෙස තමයි මෙම සින්නක්කර ඔප්පු ප්‍රදානය සිදු කරනු ලබන්නේ.

 

තමන්ට ස්වර්ණභූමී, ජය භූමී ඔප්පු තබා ගැනීමට අවශ්‍ය නම් එලෙසම සිටිය හැකියි. අවශ්‍ය කෙනෙකුට සින්නක්කර ඔප්පුව ඉල්ලුම් කළ හැකියි. මෙම සින්නක්කර ඔප්පු ලබා දීම ලබන වසරේ මුල් කාර්තුවේ සිට ක්‍රියාත්මක කරනවා. ලෝකය දියුණු වන විට නවීන ක්ෂේත්‍රයන් වෙත යොමු විය යුතුයි. එහිදී අපගේ අපනයන ක්ෂේත්‍රය දියුණු කළ කෘෂිකර්මාන්තය පිළිබඳවත් නැවත නවීන ලෙස සිතිය යුතුයි. 1972 අපනයන කෘෂි කර්මාන්තය බිඳ වැටුණා. දැන් මෙවර ලබා දෙන සින්නක්කර ඔප්පු සමඟ අපනයන කෘෂිකර්මාන්තය දියුණු කිරීමට වැඩ කළ යුතුයි.

 

මෙහිදී වගා කරන නිෂ්පාදන බෙදා හැරීමට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙනුවට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කළ යුතුයි. වගා කරන බෝග කල් තබා ගැනීමේ හැකියාව සහ අවශ්‍ය නම් අපනයනය කිරීමට ඇති හැකියාවත් එහිදී තීන්දු කළ හැකියි. ඊළඟ වසර දහය තුළ ලෝක ජනගහණය සීඝ්‍රයෙන් වැඩිවෙනවා. ඊට අවශ්‍ය ආහාර සැපයීම සිදු කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකියි. මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා.සෑම ගමක්ම අපනයන ගම්මානයක් ලෙස දියුණු කර අපනයන ආර්ථිකයට එක් කිරීම මඟින් විශාල විදේශ විනිමයක් ලබාගත හැකියි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top