දේශීය

මෙය අපට ඇති අවසන් අවස්ථාව…-ජනපති

ඩිජිටල් පරිවර්තනයකින් තොරව රටට ඉදිරියට යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

2023 ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණු අතර එයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

 

“බොහෝ කලකට පෙර, 1980 දශකයේ මුල් භාගයේ දී මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ තොරතුරු තාක්ෂණය හඳුන්වාදීමට පියවර ගත්තා. ශ්‍රී ලංකාවේ ඒ වනවිට එය ප්‍රචලිත නොවූවත්, සින්ක්ලෙයාර් සමාගමේ ජෝන් සින්ක්ලෙයාර් මුණගැසී, පාසල්වලට පළමු සින්ක්ලෙයාර් පරිගණක පෙළ ලබාගැනීමට හැකිවුණා. පරිගණක හා තොරතුරු තාක්ෂණ මණ්ඩලයක් පිහිටුවා මේ ක්ෂේත්‍රයේ ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළා. ඒ සමයේ දී තමයි මහාචාර්ය සමරනායක, කොළඹ විශ්විද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානයක් ස්ථාපිත කළේ.

 

ඒ කාලයේ චීනය තොරතුරු තාක්ෂණය ගැන යන්තම් අවධානය යොමු කළා පමණයි. කනගාටුදායක ලෙස අපට ගමන් මග අහිමි වුණා. ඔවුන් ඉදිරියට ගියා. පිටත ලෝකය දෙස බලා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවූයේ නම් අද අප මුහුණදෙන ආර්ථීක අර්බුදයට ලක්වෙන්නේ නැහැ. රාජ්‍ය අමාත්‍යවරයා දැන් ප්‍රකාශ කළ පරිදි මෙය අපට ඇති අවසන් අවස්ථාව. අපට එම අවස්ථාව ලබාගැනීම හෝ සඳහටම අහිමිකර ගැනීම කළ හැකියි.

 

ඉදිරියට යාමටනම් වෙළෙඳ ශේෂය අපට වාසිදායක අන්දමින් පවත්වා ගත යුතුයි. ඇඟලුම් සහ තේ මත පමණක් යැපීමට හැකියාවක් නැහැ. අප නව ක්ෂේත්‍ර දෙස අවධානය යොමුකළ යුතුයි. නවීන ආර්ථිකයක් ගොඩනැඟීමට නම් එය ලෝකයේ ඕනෑම කලාපයක් සමග මෙන්ම ආයතන සමග තරග කළ හැකි ඉහළ තරගකාරිත්වයක් සහිත ආර්ථිකයක් මුලින්ම ගොඩනැඟිය යුතුයි. මෙයයි මම ඉහළ තරඟකාරිත්වයක් සහිත ආර්ථිකයක් කියන්නේ. ඔබ තරගකර ජයග්‍රහණය කළ යුතුයි. ලබන මාසයේ ඉදිරිපත් කරන අයවැය මඟින් මේ නව ආර්ථිකයේ ආරම්භය සඳහා සීමාවන් ඉදිරිපත් කරන්න මම සූදානම්.

 

තොරතුරු තාක්ෂණය ප්‍රධාන කාර්යභාරයක් කරා යොමුවන විට අපට දැන් පවතින දෑ කොහොමත් ප්‍රමාණවත් නැහැ. අපට තවත් බොහෝ දෑ අවශ්‍යයයි. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දියාව ආසන්නයේ. ඉන්දියාවේ එම ක්ෂේත්‍රය කිහිප ගුණයකින් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඉතින් අපි අසල්වැසි ඉන්දියාවෙන් යමක් උගත යුතුයි. අප මේ සඳහා සුවිශේෂී වේදිකාවක් බවට පත්විය යුතුයි. ඩිජිටල්කරණ පරිවර්තනයකින් තොරව අපට ඉදිරියට යා නොහැකියි.”

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top