දේශීය

මෘදු මත්පැන් ගැන අද අධිකරණය දුන් නියෝගය

සංචාරක කලාපවලට සහ පිටස්තර ප්‍රදේශවලට නිකුත් කර තිබෙන මෘදු මත්පැන් බලපත්‍ර බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සමථයට පත් කිරීමට ඇති හැකියාව හෙට (24) දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය අද (23) පාර්ශවකරුවන්ට දැනුම් දුනි.

 

ශ්‍රී ලංකා රට බීම හල් බලපත්‍ර හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශව විසින් ගොනුකළ රිට් පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

 

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් යෝජිත බලපත්‍ර නිකුත් කිරීමට අදාළව විෂය භාර අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුකූලව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශ මත සංචාරක කලාපයට පමණක් නව මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සිදු කරන්නේ නම් එම කරුණ මත මෙම නඩුකරය සමථයකට පත්කර ගැනීමට තම පාර්ශ්වය සූදානම් බව දැනුම් දුනි.

 

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මේ සම්බන්ධයෙන් තම සේවාදායකයින්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා දිනයක් ලබා දෙන ලෙසය.

 

ඒ අනුව අදාළ කරුණ මත මෙම නඩුකරය සමථයට පත් කිරීමට හැකියාවක් තිබේදැයි වගඋත්තර කරුවන් ගෙන් ලිඛිතව උපදෙස් ලබාගෙන හෙට දින අධිකරණය හමුවේ කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියට නියම කළේය.

 

එමෙන්ම නව මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය හෙට දින දක්වා දීර්ඝ කරන බවද විනිසුරු මඩුල්ල සඳහන් කළහ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top