දේශීය

මනූෂ සහ හරීන් ගොනු කළ පෙත්සම් විභාග කෙරේ

මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම අද (12) ආරම්භ කෙරුණි.

 

අදාළ අමාත්‍යවරුන් විසින් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පෙත්සම් ගොනුකර තිබේ.

 

විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පූලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත් වුණි.

 

මෙහිදී පෙත්සම්කාර මනූෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බව සඳහන් කළේය.

 

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ බලය පැවරී තිබෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම පක්ෂයේ විනය කමිටුවට හෝ පක්ෂ නායකත්වයට සාමාජිකත්වය අහිමි කිරීමට බලයක් නොමැති බවත් සඳහන් කර සිටියේය.

 

පක්ෂයේ විනය කමිටුවට පැවරී තිබෙන්නේ යම් සාමාජිකයකු පක්ෂ ව්‍යවස්ථාව කඩ කළ අවස්ථාවක ඊට එරෙහිව චෝදනා ගොනු කිරීම හා විමර්ශන සිදු කිරීමක් පමණක් බවත් ජනාධිපති නීතිඥවරයා පවසයි.

 

තම සේවාදායකයා පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබියදී පක්ෂ මහලේකම්වරයාගේ දැනුම්දීමක් අනුව ඔහු පක්ෂයෙන් නෙරපීමට කටයුතු කර ඇති බවත් එම ක්‍රියාව සඳහා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිවී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා තවදුරටත් පැවසීය.

 

හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉන් ඉවත් කිරීමේ තීරණය අනුමත කරමින් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මෙම නඩුකරයට කිසිසේත්ම අදාළ නොවන බවත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන 24 වනදා තෙක් තැබුණි.

 

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top