දේශීය

බාල ඖෂධ ගැන ඇත්ත හෙළිකරන්නැයි ඉල්ලයි

තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත්කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

 

ඉන් ඉල්ලා ඇත්තේ, තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කමිටුවක් පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසය.

 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හර්ෂණ රාජකරුණා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

 

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

 

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෙරට ඖෂධවල තත්ත්වය හා ප්‍රමිතිය ආරක්ෂා කිරීම, ඒවා ලියාපදිංචි කිරීම, ලියාපදිංචිය අවලංගු කිරීම, නිෂ්පාදනය කිරීම සඳහා අවසර දීම, මිල නියමය කිරීම, ගබඩා කිරීම සඳහා අවසර දීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් වන බලය පැවරී තිබෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත බවය.

 

නමුත් පසුගිය කාලයේ මෙරටට ආනයනය කරන ලද නිර්වින්දන ඖෂධ වර්ග දෙකක් හා අක්ෂි ඖෂධ වර්ගයක් හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් රෝගී මරණ සහ රෝගීන් තුළ සංකූලතා හට ගත් අවස්ථා වාර්තා වූ බවත් පෙත්සම්කරුවන් පවසයි.

 

මෙහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ඖෂධ වර්ග භාවිතයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළ බවද පෙත්සමෙහි සඳහන් වෙයි.

 

නමුත් මෙම ඖෂධ භාවිතයෙන් සිදුවූ මරණ හා රෝගී සංකූලතා සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බවත් එහි සඳහන් කර තිබේ.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top