දේශීය

පෙත්සම ඉදිරිපත් කළ හේතුව ජෙරම්ගේ නීතිඥයා කියයි

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණි.

 

බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබේ.

 

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකාබැලීම සිදු කෙරුණි.

 

එහිදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු ආගමික නායකයින් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර දේවගැතිවරයා විසින් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ආගමික නොසන්සුන්තාවයක් හටගත් බව සඳහන් කළේය.

 

එම බරපතළ ප්‍රකාශය හරහා ආගමික නොසන්සුන්තාවයක් ඇතිවීමේ අනතුරක් මතුවී ඇති බවට ඉහළපෙළේ ආරක්ෂක බලධාරීන්ට වැටහී ගිය නිසා ඔවුන් වහා ඒ පිළිබඳව ජාතික ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කළ බව කී ජනාධිපති නීතිඥවරයා, මෙම කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව දේවගැතිවරයා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කළ බවත් සඳහන් කළේය.

 

මෙම පෙත්සම්කාර දේවගැතිවරයාගේ ගිණුම් හරහා රුපියල් බිලියන 12.25ක මුදල් සංසරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බවත් නීතිපතිවරයා විසින් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු වාර්තා කළ බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

 

පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට නායකත්වය දුන් සහරාන් නමැත්තා ද පෙත්සම්කරු සිදු කළ ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පෙත්සම්කාර දේවගැතිවරයාගේ ප්‍රකාශයේ පැවති බරපතළ ස්වභාවය සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට ඉහළ පෙළේ ආරක්ෂක බලධාරීන් කටයුතු කළ බවත් පෙන්වා දුන්නේය.

 

මෙවැනි පෙත්සම් ඉදිරිපත් කිරීම හරහා පෙත්සම්කාර දේවගැතිවරයා අධිකරණ ක්‍රියාදාමය අවභාවිතයට ලක් කර ඇති බවත් මෙවැනි ක්‍රියා සඳහා ඉඩකඩ ලබා නොදෙන ලෙසත් ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් වැඩිදුරටත් අධිකරණයෙන් අයැද සිටියෙය.

 

මෙම පෙත්සම් විභාගය අතරතුර පෙත්සම්කාර දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා සඳහන් කළේ තම සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලට පූර්ණ සහාය ලබාදෙන බවය.

 

ඔහු අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාදීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ වික්‍රමනායක මහතා, එබැවින් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අරමුණින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කර තිබුණි.

 

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන 16 වනදා

දක්වා කල් තැබුණි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top