දේශීය

තොරතුරු කොමිසම පැවරූ පළමු නඩුව විසිවෙයි

ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ නියෝගයක් කඩ කළේ යැයි චෝදනා ලබා සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහ එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී කේ. කේ. ධර්මතිලක යන අය නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (09) නියෝග කළේය.

 

විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම තීන්දුව ලබාදුනි.

 

මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව තොරතුරු කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

 

2018 වසරේ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලිකාරියට අදාළව පැවති මූලික පරීක්ෂණයක වාර්තාව ලබානොදීම තුළින් කොමිසමේ නියෝගයක් කඩ කළේ යැයි චෝදනා කොට අදාළ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම නඩුව විත්ති පාර්ශ්වයට එරෙහිව ගොනු කෙරුණි.

 

මෙම නඩුව සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ විධිවිධානයන්ට අනුව නඩු පැවරීමේ අයිතිය තිබෙන්නේ එම කොමිසමට පමණක් බව සඳහන් කළේය.

 

එහෙත් මෙම නඩුව ගොනුකර තිබෙන්නේ අදාළ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙවැනි නඩුවක් ගොනු කිරීමට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා සිය මූලික විරෝධතාවල සඳහන් කර තිබුණි.

 

ඒ අනුව මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

 

එසේම මෙම පනත යටතේ නඩු පැවරීමට බලය තිබෙන්නේ ආයතනවලට මිස පුද්ගලයින්ට නොවන බවත් මෙම විත්තිකරුවන් දෙදෙනා නීතිවිරෝධී ආකාරයෙන් මෙම නඩුවට සම්බන්ධ කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

 

එම මූලික විරෝධතා පිළිබඳ කරුණු සලකාබැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සඳහන් කළේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙවැනි නඩුවක් ගොනු කිරීමට හැකියාව තිබෙන්නේ අදාළ කොමිසමේ නිලනාමය සහ නිල මුද්‍රාව යටතේ පමණක් බවය.

 

අදාළ පනත යටතේ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නඩු පැවරීමේ බලයක් නොමැති බවත් ඒ අනුව මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බැවින් විත්තිකරුවන් නිදහස් කරන බවත් මහෙස්ත්‍රාත්වරයා තම තීන්දුවේ සඳහන් කර තිබේ.

 

කෙසේ වෙතත් අදාළ කොමිසමේ නිල නාමය සහ නිල මුද්‍රාව යටතේ නැවත නඩු පැවරීමට මෙම නඩු තීන්දුව බාධාවක් නොවන බවත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

මෙය තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු කොමිසම විසින් පැවරූ පළමු නඩුව බවත් විත්තියේ නීතිඥවරුන් පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top