දේශීය

ඔළුගෙඩි මාරුවක් ගැන ඉඟියක්

එක්සත් ජාතික පක්ෂයේ කළමනාකාර කමිටුව සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් සිදුවී තිබේ.

 

ඊයේ (12) පස්වරුවේ මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයේ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවී ඇති බව වාර්තා වෙයි.

 

පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදුවිය යුතු බවට පක්ෂයේම ඇතැම් පිරිස් විසින් සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවී තිබේ.

 

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට පක්ෂ නියෝජ්‍ය නායක ධුරය හෝ මහලේකම් ධුරය ලබාදිය යුතු බවට වන යෝජනාවක් පසුගියදා එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් විසින් යෝජනා කර තිබූ අතර තවත් පිරිසක් ප්‍රකාශ කර තිබුණේ මේ මොහොතේදී තනතුරු වෙනසක් සිදුකිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවය.

 

අදාළ සාකච්ඡාව නිශ්චිත එකඟතාවකින් තොරව අවසන් වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ කළමනාකාර කමිටුව සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් සාකච්ඡාවක් අද (13) දිනයේත් පැවැත්වීමට සැලසුම් කර ඇති බවද එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

 

මේ අතර පවතින දේශපාලන වාතාවරණය තුළ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහාය මත තීරණය වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top