දේශීය

ඉන්දියන් සාගරයේ සහයෝගීතාව ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැඟී එන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, ගාල්ල ජෙට් වින් හෝටලයේ අද (12) පැවති “ගාලු කතිකාව 2023 – ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව ” අමතමිනි.

 

එහිදී ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරත්වය සමඟ එහි ඉදිරි ගමන් මඟ තීරණය වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

 

අපටම ආවේණික සංස්කෘතික, වෙළෙඳ හා එකිනෙකට බැඳුනු ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ඉන්දියන් සාගරයේ සහයෝගීතාව කිසිවෙකුට විනාශ කළ නොහැකි අතරම එය කිසිවෙකුටත් අතුගා දැමිය නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 

“ඉන්දියානු සාගරයේ මතුවන නව පිළිවෙල” කේන්ද්‍රීය තේමාව යටතේ ජාත්‍යන්තර සංවිධාන 11ක සහ රටවල් 44ක සමුද්‍රීය නියෝජිතයින්ගේ හා නාවික හමුදා ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සමුළුව අද (12) සහ හෙට (13) පැවැත්වෙයි.

 

දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූ පසුව එයින් ලබාගත් අත්දැකීම් ලෝකය සමග බෙදාගැනීම සඳහා 2010 වසරේ ආරම්භ කෙරුණු “ගාලු කතිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව” මෙම වසරේ දී පවත්වනු ලබන්නේ 11 වන වතාවටය.

 

කලාපීය සහ ගෝලීය නායකයින් එකම වේදිකාවකට සහභාගී කරගෙන නාවික, පාරිසරික, සමුද්‍රීය සහ දේශපාලනික කතිකාවතක් ඇති කිරීම හා කලාපීය සහ ගෝලීය ගැටලු සාකච්ඡා කිරීම සහ ඊට විසදුම් සොයාගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.

 

මෙම ජාත්‍යන්තර සමුළුව 2020 වසරේ සිට වසර දෙකකට වරක් පැවැත්වීමට සැලසුම්කර තිබුණත් පසුගිය සමයේ පැවති කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ එය පැවැත්වීමට නොහැකි විය.

 

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලැබීමෙන් පසුව පවත්වනු ලබන පළමු සමුළුවද මෙය වෙයි.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

 

“2050 පමණ වන විට අප්‍රිකාව වේගයෙන් වර්ධනය වනු ඇතියි. ඒ පිළිබඳ නොදන්නා අය 2063 අප්‍රිකානු න්‍යාය පත්‍රය කියවා බැලිය යුතුයි. ඒ අනුව එය තවත් විශාල ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇතියි. ආසියා පැසිෆික් කලාපය නැතිවන බව ඉන් අදහස් වන්නේ නැහැ. නමුත් බටහිර, ආසියා පැසිෆික් සහ ඉන්දියාව යන ප්‍රධාන මධ්‍යස්ථාන තුන ඇතිවිය හැකියි.”

 

“එවිට වෙළඳාමේදී අපේම අනන්‍යතාවයක් තිබෙනවා. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවට තිබෙන්නේ උපායමාර්ගික පිහිටීමක්. අප කොළඹ වරාය දියුණු කරනවා නම් එය විශාල කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් වෙනවා.”

 

“අප ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ නිසා නැගෙනහිර ඉන්දියන් සාගරය දියුණු වන විට එහි ප්‍රතිලාභ අපටත් ලැබෙනවා.‍”

 

“ඒ වගේම අප හම්බන්තොට වරාය අප්‍රිකාව සමඟ සම්බන්ධ කළහොත්, එය තවත් වාණිජ වරායක් බවට පත්වෙනවා.”

 

“ශිෂ්ටාචාරය සහ වෙළඳාම පිළිබඳව ඇති දැනුම සමග අප එදෙස බැලිය යුතුයි. එසේ අවබෝධයක් නොමැති අය මේ පිළිබඳව විවිධ විවේචන එල්ල කරනවා. ඒ නිසා මෙම තත්ත්වයන් පිළිබඳ අප අබෝධයෙන් කටයුතු කළයුතුයි.”

 

“අපට වරායන් වැදගත්. අද ලෝකයේ ප්‍රධාන වරායන් අතරට ඩුබායි වරායත් එක්වෙමින් තිබෙනවා. ඒ සමඟ තවත් විශාල වරායන් ප්‍රමාණයක් එක්වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවට තවත් වරායන් ඉදිකළ හැකිනම් අප එය සිදු කරනවා. මෙම තරගය තුළ අප සිටිය යුතුයි.”

 

“ඉන්දියාව සහ පාකිස්ථානය දැනටමත් ක්‍රිකට් ක්‍රීඩාව භාරගෙන අවසන්. විශේෂයෙන්ම අයි.පී.එල් තරගාවලියත් සමග ඉන්දියාව එය සිදු කළා. මෙරිලෙබෝන් ක්‍රිකට් සමාජය තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිවහන වන්නෙ නැහැ. ඒ පිළිබඳ දැනගන්න නම් අයි.පී.එල් තරගාවලිය නරඹන්න. ඒ වගේම සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය යුරෝපයේ පාපන්දු සමාජ අත්පත් කර ගැනීමට උත්සාහ කරන බව ඔබට පෙනේවි. ඉතින් මෙය දැන් සිදුවන නව තත්ත්වයයි.”

 

“නව නැගී එන පිළිවෙල කුමක්ද? පසුගිය සතියේ මම විවේකීව සිටි අවස්ථාවක මෙම නව නැගී එන පිළිවෙල ගැන කතා කිරීමට කරුණු කිහිපයක් සටහන් කරගත්තා. නමුත් ඊයේ මම එය ඉරා දැමුවා. ඔය අතර සිදු වූ දේ මම අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් ඊශ්‍රායලයේ සිදුවූ හමාස් ප්‍රහාරයෙන් පසුව දැන් සිදුවීමට යන දෙයට මෙය බලපානවා.”

 

“දේශපාලනය එතැනට පැමිණ තිබෙන බව ඔබට පෙනෙනවා. ඊශ්‍රායලය දැනටමත් එක්සත් රජයක් පිහිටුවා තිබෙනවා. හමාස් සංවිධානය විනාශ කිරීම එක කරුණක්.”

 

“ඔවුන්ට ඊට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගත හැකියි. නමුත් ගාසා තීරය විනාශ කළහොත් ලැබෙන ප්‍රතිචාරය මොකද්ද? පැය 24න් මුළු තත්ත්වයම වෙනස් වෙනවා.”

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top