දේශීය

අලුත උපන් බිළිඳා බලන්න ගිහින් වෙඩි කෑ සිද්ධිය ගැන තොරතුරු රැසක්

ගාල්ල අහුංගල්ල ප්‍රදේශයේදී අද (11) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

 

දරු ප්‍රසූතියෙන් පසු සිය බිරිඳ හා අලුත උපන් බිළිඳා බැලීමට බලපිටිය රෝහලට ගොස් නැවත පැමිණෙමින් සිටි පුද්ගලයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වී තිබුණි.

 

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පසුපසින් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා පළාගොස් තිබුණි.

 

වෙඩිතැබීම සීසීටීවී කැමරාවක සටහන්වී තිබුණි.

 

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ ගෙලට හා අතකට තුවාල සිදුවී තිබූ අතර ඔහු 38 හැවිරිදි සුපුන් විදුර තාරක නැමැත්තෙකි.

 

තුවාලකරු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

 

අනතුරුව පොලීසියට ලද තොරතුරකට අනුව වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථය බෙන්තර දෙද්දූව ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන ඇත.

 

විමර්ශන සඳහා පොලිස් නිල සුනඛයෙකු යොදාගත් අතර සුනඛයා ප්‍රදේශයේ තිබූ පාලු නිවසකට ගොස් නතර වුණද ඉන් කිසිවක් සොයා ගැනීමට හැකිවී නොමැත.

 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අපරාධ කල්ලි සාමාජික කොස්ගොඩ සුජීගේ ඥාතියෙක් බවට සැක කරන බවද පොලීසිය සඳහන් කරයි.

 

එමෙන්ම මුදල් පොලියට ලබාදෙන අයෙකු වන ඔහුට 2017 වසෙර්දී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් ආරවුලක් තිබී ඇති අතර පසුගිය කාලයේ ජීවිත තර්ජන ද පැවති බව වාර්තා වෙයි.

 

මේ අතර දකුණු පළාත තුළ පසුගිය කාලය පුරා සිදුවූ බහුතරයක් වෙඩි තැබීමේ සිද්ධීන් රැසක් කුලී වෙඩික්කරුවන් විසින් සිදුකර ඇති බවට පොලීසිය අනවාරණ කරගෙන තිබේ.

 

උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ එය අපරාධ කල්ලි රැසක නව ප්‍රවණතාවයක් බවට පත්වී ඇති අතර, එලෙස යොදාගන්නා බහුතරය යුද සහ නාවික හමුදා සෙබලුන් බවය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top