කලා

“The Newspaper” ලොව B ශ්‍රේණියේ අන්තර්ජාතික සිනමා උළෙලක ප්‍රධාන තරඟකාරී වටයට

(UTV | කොළඹ) – මාර්තු 03 සිට 10 වෙනිදා දක්වා ඉන්දියාවේ බෙංගලූරු නුවර පැවැත්වෙන 13 වෙනි බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ (Bengaluru International Film Festival) ප්‍රධානතම තරඟකාරී අංශය වන “ආසියානු සිනමා තරඟය” (Asian Cinema Competition) නියෝජනය කිරීමට බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ සහ සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සමව අධ්‍යක්ෂණය කල “ද නිව්ස්පේපර්” (The Newspaper) සිනමාපටය සුදුසුකම් ලබා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව, චීනය, ජපානය, ඉරානය, ඉන්දියාව, පිලිපීනය ආදී ආසියානු කලාපීය රටවල් 13 කට අයත් චිත්‍රපට 28 ක් මෙවර උළෙලේ පිරිනමන ඉහළම තරඟකාරී සම්මානය වන “හොඳ ආසියානු සිනමාපටය” (Best Asian Film) වෙනුවෙන් තරග වැදීමට තේරී පත්ව ඇත. පෙර වර්ෂවලදී උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය නියෝජනය කිරීමේ අවස්ථාව සිනමාපට 14 කට පමණක් හිමිවුවද, කොවිඩ් වසංගතයේ බලපෑම නිසාවෙන් 2021 වසරේ උළෙල කල් දැමීම හේතුකොටගෙන වසර දෙකකට (2020, 2021) අයත් චිත්‍රපට 28 කට මෙවර එම අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයකි . ඒ අනුව 2020 වසර යටතේ “ද නිවුස්පේපර්” ආසියානු තරග අංශයට සුදුසුකම් ලබා ඇත.

2006 වසරේ ආරම්භය සනිටුහන් කොට ඇති බෙංගලුරු සිනමා උළෙලේ, 2006-2020 කාලවකවානුව තුළ ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 24 ක් තිරගත වී ඇති අතර, ඉන් සිනමාපට 11 ක් (ඉගිල්ලෙන මාළුවෝ- 2011දී/ ඉනි අවන් -2012 දී/ ඔබ නැතුව ඔබ එක්ක-2012 දී/ තණ්හා රතී රඟා- 2013 දී/ සක්කාරං- 2014 දී/ ප්‍රේමය නම්- 2016 දී/අලෝකෝ උදපාදි සහ රතු සමනල හීනයක්- 2017 දී/ ගින්නෙන් උපන් සීතල සහ අසන්ධිමිත්තා- 2019 දී/ වෙඩි නොවදින ළමයි- 2020 දී) “ආසියානු සිනමා තරගය” නියෝජනය කොට ඇත. ඒ අනුව “ද නිව්ස්පේපර්” චිත්‍රපටය, බෙංගලුරු උළෙල ඉතිහාසයේ ආසියානු තරග අංශය නියෝජනය කරන 12 වෙනි ශ්‍රී ලාංකේය සිනමාපටය.

ලොව පුරා ක්‍රියාත්මක සිනමා උළෙල ප්‍රමිතිකරණයේ හා වර්ගීකරණයෙහි නියැලෙන ලොව ප්‍රමුඛතම ආයතනය වන “ෆිඇප්ෆ්” (FIAPF- Fédération Internationale des Associations de Producteurs de Films) ආයතනයේ පිළිගැනීම (FIAPF Accreditation) මෙම වසරේ සිට බෙංගලුරු අන්තර්ජාතික සිනමා උළෙල වෙත හිමිව ඇත. ඒ අනුව එවන් පිළිගැනීමක් හිමිව ඇති ලොව 44 වෙනි අන්තර්ජාතික සිනමා උළෙල බවට බෙංගලුරු සිනමා උළෙල පත්වේ.

උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය ආසියානු කාලාපයට සීමාවීම නිසාවෙන් “විශේෂිකරණය වූ තරගකාරී වෘත්තාන්ත සිනමාපට උළෙලක්” (Competitive Specialized Feature Film Festival) හෙවත් ෆිඇප්ෆ් අනුමත “බී” ශ්‍රේණියේ තරගකාරී උළෙලක් ලෙසින් බෙංගලුරු සිනමා උළෙල, මේ වසරේ සිට ෆිඇප්ෆ් සිනමා උළෙල දින දර්ශනයට ඇතුළත් වේ. මෙකී ෆිඇප්ෆ් පිළිගැනීමත් සමග ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රමුඛතම තරගකාරී අන්තර්ජාතික සිනමා උළෙල පහ අතරට (ගෝව, කේරළ, කොල්කටා, මුබ්බායි, බෙංගලුරු) බෙංගලුරු අන්තර්ජාතික සිනමා උළෙල එක්වේ.

සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නෙතලි නානායක්කාර, මාෂි සිරිවර්ධන, දායාදේව එදිරිසිංහ, ගිහාන් ප්‍රනාන්දු, ජයලාල් රෝහණ, පුබුදු චතුරංග යනාදී නළු නිළියන්ගේ රංගනයෙන් හැඩවෙන ” ද නිව්ස්පේපර්” හි සම නිෂ්පාදනය රවින්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී ප්‍රේමසිරිගෙනි. කැමරාකරණයෙන් චන්දන ජයසිංහත්, සංස්කරණයෙන් රුක්මල් නිරෝෂනුත්, සංගීතයෙන් ගයාත්‍රී කේමදාසත්, කලා අධ්‍යක්ෂණයෙන් අජංන්ත අලහකෝනුත්, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩත් චිත්‍රපටයට දායකත්වය ලබා දී ඇත.

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top