කලා

THE GOD COMMITTEE – චිත්‍රපටය

(UTV | කොළඹ) – පෙම්වතා – අපිට කිට්ටුවෙන්ම තියෙන මන්දාකිණිය The canis major dwarf galaxy මන්දාකිණිය. ඔයා දන්නවද එහෙට යන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා.

පෙම්වතිය – ඇත්තටම මට නම් අදහසක් නැහැ.

පෙම්වතා – අපිට මේ තියෙන තාක්ෂණය එක්ක ඒකට අවුරුදු මිලියන 900ක්වත් ගතවෙයි. ඔයාට ආලෝකයේ වේගයෙන් එහෙට යන්න පුළුවන් නම් ඒක අවුරුදු විසි පන්දාහකින් වගේ කර ගන්න පුළුවන්.

පෙම්වතිය – ඉතිං ඔයා කියන්නෙ ඒක කරන්න පුළුවන් වෙයි කියලද?

පෙම්වතා – කවදා හරි දවසක… මං කිව්වෙ ඔයාට ආලෝකයේ වේගයෙන් යන යානාවක් හදාගන්න පුළුවන් උනොත්. නිකමට ඔයාට කාලය ගතවීම ගැන දැනෙන එකක්වත් නැති වෙයි. අඩුගානේ ඔයා දවසකින්වත් වයසට ගිහින් නැති වෙයි.

පෙම්වතිය – ඒ උනාට ඔයා ආපසු ඇවිත් බලනකොට ඔයාගේ යාළුවෝ සේරම, ඔයාගේ පවුලේ අය හැමෝම මිය ගිහින් තියේවි.

පෙම්වතා – ඒක හරි… බොහෝ දුරට මනුෂ්‍ය සංහතියම නැති වෙලා තියෙන්නත් පුළුවන්.

පෙම්වතිය – ඉතිං එහෙනම් ඒකෙන් ඇති වැඩක් තියෙයිද?

පෙම්වතා – වැඩක් තියෙයිද නැද්ද කියලවත් අඩුගානේ හොයාගන්න පුළුවන් වෙයිනේ…

ඊළඟ නිමේෂයේ ඇය ඔහු සිප ගත් අතර වෙන් වීම සිදුවන්නේ පේ‍්‍රමවන්තයාව පාර හරහා පැමිණි මාරයා විසින් දෙවියන්ගේ තුරුලට ගෙන යාමෙනි. එහෙත් ඔහුගේ හදවත පේ‍්‍රමය නිසාමදෝ ජීවයෙන් පිරී පවති.
දෙවියන්ගේ කමිටුව මෙලෝ ඩ‍්‍රාමාවකි. එය පියවර තබන්නේ තරුණයාගේ ඒ ජීවය පිරි හදවත බද්ධ කිරීමට රෝගියකු තේරීමටය.

Kelsey Grammerගේ රංගනයෙන් ආලෝක වූ ඉහළ පෙළේ ශෛල්‍ය වෛද්‍යවරයෙක් වන Andre Boxer ”හදවත කියන්නේ නිකම්ම නිකම් මාංශ පේෂියක් ” එසේ පවසයි. Boxer යනු නිවි නිවී දැල්වෙන දුම් වැටියකට සමාන වන අතර බොහෝ විට වැඩට කැපවුණු ඇතුළට නැමුණු කර්කෂ පෙනුමකින් යුත් සතුටු සිතින් වැඩ නොකරන පුද්ගලයෙකි. මානව කේන්ද්‍රීය බවක් බාහිරින් ඔහු නොපෙන්වයි.

ඔහුගේ අනික් පස Julia Stilesගේ රංගනයෙන් හැඩවන Dr’ Jordon Taylor යනු මානවවාදී හිතක් ඇති ඔහුට වඩා අවුරුදු 25කින් අඩු වයසැති දක්ෂ ශෛල්‍ය වෛද්‍යවරියකි. Boxerගේ අනුප‍්‍රාප්තිකයා වන්නේ ඇයයි. එමෙන්ම ඔහුගේ නිල නොවන සහකාරිය ද ඇයයි.

බොහෝ විට අපට මෙම චිත‍්‍රපටිය දොළහක් වේදිකා නාට්‍යය සිහි කැඳවයි. දෙවියන්ගේ කමිටුවේ හි කථා සාරය අනපේක්ෂිත ලෙස ලැබෙන්නා වූ හදවතක් බද්ධ කරන්නේ කාටද යන්න පිළිබඳ වන විවාදයයි. බද්ධ කිරීමේ කමිටුවේ Grammer සහ Stiles මෙන්ම Janeane Garofalo, Colman Domingo, Peter Y Kim මෙන්ම Patricia Rfloydගේ ගැටුම්කාරී අදහස් නියෝජනය කරන නළු නිළි රාශියක් එක්ව සිටී. එය දැඩි තේරීමකි. දෙවියන් බලා සිටී. හදවතක් අවශ්‍ය රෝගීන් තිදෙනෙකු දෙවියන් දෙස හා දෙවියන්ගේ කමිටුව දෙස බලා සිටී.

Walter Curtis තරබාරු ද්වි ධ‍්‍රැවීය, දියණියන් තිදෙනකු සිටින අයෙකි. අවුරුදු නමයකට කලින් සියදිවි නසා ගැනීමට උත්සාහ කරන ලද අයෙකි. සැත්කමට අවශ්‍ය නිසි බර අඩු කර ගෙන නැත. ඔහු බද්ධ කිරීම ඉල්ලා සිටී.

Janet Pike 59 වියැති තනිකඩ කාන්තාවකි. ඇගේ සැමියාගෙන් ලද විශාල උරුමයක් සහිත ව සිටී. ජැනට් වෝල්ටර්ට වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙයි. අනෙක් අතට ඇය කලබලකාරියකි. රෝහලේ හෙදියන් සමග රණ්ඩු සරුවල් කරගනී. වචනයේ අර්ථයෙන් පැවසූවහොත් වධකාර ගැහැනියකි. අනුන්ගේ හදවතක් තමා තුළට බද්ධ කර ගැනීමද ඇය නුරුස්සයි.

Trip Granger ප‍්‍රචණ්ඩත්වය සහ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව ඉතිහාසයක් ඇති නරක් වූ පෝසත් තරුණයකි. සිහිසුන් තත්ත්වයේ පසු වෙයි. ඔහුගේ පියා සල්ලිකාරයෙකු වන අතර තම පුතුට කමිටුව විසින් හදවත පරිත්‍යාග කරන්නේ නම් ඔහු රෝහලට ඩොලර් මිලියන 25ක පරිත්‍යාගයක් කිරීමට ද සැරසෙයි. බැලූ බැල්මට එය අල්ලස් දීමකි. එමෙන්ම Trip අරඹයා වෛද්‍ය ගැටළු කිහිපයක් ද ඉස්මතුව එයි.

දෙවියන්ගේ කමිටුව ප‍්‍රායෝගික වෛද්‍යමය හේතු මත පදනම්ව හදවත් ප‍්‍රදානය සිදු කළ යුතු වුවත් රෝගීන්ගේ චරිත ස්වභාවය ද, ආත්මීය භාවය ද සංවාදයට භාජනය කරයි.

දේව කමිටුවේ රෝහල් කමිටුවේ නියෝජිතයකු ලෙස පූජකවරයෙක් (Father Double) ද එකතු වී සිටී. චිත‍්‍රපටයේ අතීත සිදුවීමකදී ඔහු කමිටුවෙන් මෙසේ විමසයි.

පුජකවරයා – ”තෝරා ගැනීම සිදු කළ යුත්තේ, රෝගියාගේ ප‍්‍රායෝගික, වෛද්‍යමය හේතු මතද? නැතිනම් රෝගියා ගේ චරිත ස්වභාවය හා ආත්මීය කරුණු මත ද?” පූජකයාට අනුව චරිත ස්වභාවය මත තීරණ ගැනීම දෙවියන්ට පිටු පෑමකි. දෙවියන් සමග කරන සෙල්ලමක් ලෙස ඔහු එය හුවා දක්වයි.
එවිට boxer පවසන්නේ මෙසේයි.
”කවදා හරි දෙයියෝ මෙහෙට වැඩලා ඡුන්දය දෙන්න ගත්ත දවසට මං තමයි මේ කමිටුවෙන් මුලින්ම පැත්තකට වෙන්නේ. ඒත් වැඬේ කියන්නේ අවුරුදු දහයකින් විතර මං තාම පොරව දැකලම නැහැ.”
එවිට පූජකයා ද මෙසේ පවසයි… ”මට හරි කණගාටුයි ඒ ගැන.” හදවත් බද්ධ කිරීමේ කමිටුවේ තීරණ දෝලනය වන්නේ එසේයි. මෙම වෛද්‍ය ප‍්‍රශ්නය තුළට එන ප‍්‍රායෝගික හා වෛද්‍යමය කාරණාද, චිත්තවේග, මූල්‍ය කටයුතු, ආගමික හා සදාචාරාත්මක කරුණු ඒ සියල්ලක්ම මෙහි විවිධ තල බවට පත් කරයි. Austin Starkගේ මෙම මස්තිෂ්තක වෛද්‍ය චිත‍්‍රපටය මගින් හරි සහ වැරදි, හොඳ සහ නරක අතර කළු සෙවණැළි කොපමණ තිබේද යන්න ඉස්මතු කරයි. චිත‍්‍රපටයේ අනවශ්‍ය යැයි හැගෙන එක අංශයක් වත් නැත.

කථාව කාල රාමු දෙකක් අතර පැනීම වුවද එය කිසි විටෙක ව්‍යාකූල නොවේ. එය රේඛීය නොවන ආකෘතියක් භාවිතා කරයි. දර්ශන තල දෙක අවුරුදු 7ක පරතරයක් පෙන්නුම් කලත් තේමාත්මකව ඒවා එකිනෙකට සබැඳී පවතී. කැමරාකරණය සියුම් ලෙස මෙම කාල පරාස දෙක තුළ උණුසුම් (කහ පැහැය) ශීත (නිල් පැහැය) ලෙස සීරූ මාරූ කරයි. Boxer හා Taylorගේ විශිෂ්ට රංගනය ඇත්තෙන්ම දේව කමිටුව එකමුතුව තබා ගැනීමට උපකාරි වෙයි. ඔවුන්ගේ අතීත අනුවාදනයන් වර්තමාන මිනිසුන් වසර හතකට පෙර ගත් තීරණ අනුව මූලික වශයෙන් වෙනස් වේ. Boxer අතීතයේ සිටි ආත්මාර්ථකාමී ශෛල්‍ය වෛද්‍යවරයාගේ සිට අනාගතයේ මිනිසෙකුගේ ලෙල්ලක් දක්වා වෙනස් වේ.

ආචාර්ය Taylorට වඩාත් සියුම් චාපයන් ඇති අතර එය මිනිසුන්ට උපකාර කිරීම සඳහා කැප වූ ශක්ති සම්පන්න විඥානවාදියෙකුගේ සිට වෙහෙසට පත්වූ වෘත්තිකයෙකු දක්වා සිය කණ්ඩායම ප‍්‍රායෝගිකව හා යථාර්ථවාදය පිළිබඳ දැඩි හැඟීමකින් මෙහෙයවයි. චරිත දෙකෙහිම ඛේදජනක ඛේදවාචකයන් ඇති අතර අනෙක් අයට ජීවත් වීමට උපකාර කිරීම සඳහා ලූහුබැඳ ගොස් ඇත්තේ ඔවුන්ගේ ම ජීවිත පවා ගෙවා දැමීමෙනි. දෙදෙනාම සාර්ථක වන නමුත් දැඩි තනිකමක සිටින බවක් හැඟේ.

දෙදෙනාටම එකිනෙකාට ආවේණික වූ ගමනක් ඇති නමුත් එම මං තීරු අඛණ්ඩව නව හා අනපේක්ෂිත ආකාර වලින් අතිෙඡ්දනය වේ. දෙවියන් වහන්සේගේ කමිටුව පුරාම කැපී පෙනෙන සංයමයක් ඇති අතර එමගින් ඔවුන් අතර මෘදු මොළොක් අවස්ථා අර්ථවත් වන අතර දුර්ලභ ප‍්‍රීති ප‍්‍රකාශනයන් දෝංකාර දෙයි.
මුලදී Boxer හා Taylor පෙම්වතුන් වුවත් ඔවුන්ගේ පළමු දර්ශනයෙන් ම පැහැදිලි වන්නේ සබඳතාවය අවසන් බවයි. ඔවුන් අතර යම් දුරක් පවතී. චිත‍්‍රපටියේ අමතක නොවන දසුනක් නම් අවසානයේ දෙදෙනා නොවරදවාම අර්ථවත් සම්බන්ධයක් ඇතිකර ගැනීමයි. මෙය අපට මනුෂ්‍යත්වයේ පොදු ස්වභාවයක් මෙනෙහි කරවයි.

කෝවිඩ් ගෝලීය ලෝකයේ සෞඛ්‍ය සේවා පද්ධතියේ වෘත්තිකයන් ගැඹුරු දෝෂ සහිත මේ නරුම පද්ධතිය තුළ මිනිසුන්ගේ රැකවරණය සඳහා අඛණ්ඩව නැගී එන සටනක් කරමින් සීමිත, අසීමිත ලෙස බෙදුණු සම්පත් හමුවේ දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරයි. දැඩි සත්කාර හිමි විය යුත්තා කවුද? එන්නත් සමාන ලෙස බෙදී යා යුත්තේ කෙසේද? සැප පහසු නවීන තාක්ෂණයෙන් යුත් රෝහල් පද්ධති හිමි කාටද? අඩුම තරමේ ඔක්සිජන් යන්ත‍්‍රයක් හිමි වන්නා කවුද? කවුද ජීවත් වෙන්නේ, කවුද මැරෙන්නේ කියන දෙය තීරණය කරන්න මුදලට ඉඩ දෙන්න දෙවියන් නිර්මාණය කළ මේ සමාජයම අපෙන් ඉල්ලා සිටී.

අනෙක් අතට මේ නරුමවාදය වෙනස් කිරීමට දිවි පරදුවට තබා වෙහෙසෙන බොහෝ කොටස් ටෙලි-නළු වරම් මැද රෝහල් වල අනාරක්ෂිත සජීවී සැණකෙළි නටයි. හඬා වැටෙන මේ විරූපී පද්ධතියටම මුක්කු ගසයි. හැමවිටම ක‍්‍රමයේ අර්බුදය සමනය කිරිමට ඉදිරියට ගන්නා මිලිටරි සේනාංක රජය විසින් සෞඛ්‍ය සහ රාජ්‍ය සේවයට අනුයුක්ත කළ විට ඊට විරෝධතා දක්වන විකල්පවාදී බොහෝ කොටස් තම දේශපාලන පක්ෂයේ නුපුහුණු අත්දැකීම් අඩු භක්තිමත් පක්ෂ කාඩර්වරුන්ගෙන් සෞඛ්‍යය වෘත්තිකයන්ට නිගා කරයි. ගරා වැටෙන රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය ඔසවා තබයි. අරගලද හාස්‍යයෙන් පුරවයි.

දේව කමිටුව මේ නරුම සමාජ ක‍්‍රමය දෙස සියුම් හුයකින් අපව කරකවා තබයි. මුදල් යනු මුදල්ම පමණක් ද? කළු ද, සුදු ද නොවේ. නමුත් එහි ආත්මීය ගැඹුරක් සටහන් වෙයි. එය නිකම්ම උපදිනවා නොවේ. අපෙන් අසන්නේ ඒවා එක්රැස් කර ගත්තේ කෙසේද කියා නොව දැන් වියදම් කරන්නේ කුමකටද යන්න ප‍්‍රශ්නය ඉදිරියට එයි. පරිත්‍යාග, ආධාර ලෙස ලැබෙන බොහෝ දේ තුළ පවා කුණු දුඟදක් වහනය වෙයි. එවිට අප නහය හකුලා ගනි. මුදල් තැන්පත් වෙයි. චිත‍්‍රපටයේ Boxer සහ රෝහල් පාලිකාවක වන Dr. Valerie සමඟ ලැබීමට නියමිත අල්ලස (පරිත්‍යාගය) ගැන සංවාදයක් මතුව එයි. Dr. Valerieට අනුව මිලියන 25 ගැනීම එකම එක කැත වැඩක් වුවත් තවත් හදවත් කීයක් නම් ඉන් බද්ධ කල හැකිද?

Boxer – ” මේවා කුණු සල්ලි.”

Dr. Valerie – ”ඔව්… මේවා එහෙම තමයි. ඒ උනාට අපි ඒවා ගන්නවා. අරගෙන අපි ඒවා වැඩ වලට වියදම් කරනවා. කිසි දෙයක් පාරිශුද්ධ නෑ. ඔයා හිතන්නෙ මේ රටේ (ඇමරිකාවේ) පුස්තකාලේ හැදුවේ කවුරු කියලද? ඒ Andrew Carnegie මිනිහා තමන්ගේ වානේ කම්කරුවන්ව සතියකට පැය අසූවක් වැඩ කරන්න දැම්මා. ඔයා හිතන්නේ කම්කරුවන්ට කියවන්න වෙලාවක් තිබ්බා කියලද? ”
”හෙන්රි ෆෝර්ඞ් වෘත්තිය සමිතිකරුවන්ට සෑහෙන්න පහර දුන්නා. බේස් බෝල් බැට් එකෙන්… එතකොට දැන්, ෆෝර්ඞ් කම්පැනියේ අරමුදල් වැඩියෙන්ම යොදවන්නේ මොකටද? ගෝලීය මානව හිමිකම් රකින්න. කිසිම දෙයක් පාරිශුද්ධ නැහැ.”

මුදල් වල පාරිශුද්ධ බවක් නොමැති මුත්, ඒවා ළඟා කරගත් විදිය අප නොසලකයි. එමෙන්ම ඒ මුදල් මොන විදියේ මුදල්ද කුමක් සඳහා නැවත යොදවන්නේද යන්න පිළිබඳව සියුම් පැනයක් දේව කමිටුව අපෙන් විමසයි. අප ලංකාව දෙසට හැරෙමු. මේ දිනවල සියළු ගුරු සංගම් වැඩ කරන ජනතාවගේ නාමයෙන් වැඩ වරා, ටියුෂන් වල යෙදි සිටින බොහෝ ගුරුවරු ඒවා ජයටම කරමින් දරුවන්ට අධ්‍යාපනය විකුණන සමයක ධම්මික පෙරේරා මහතා වෙළඳ දැන්වීමක්වත් පල නොකරන DP Education You Tube චැනලයක් සහ DP Education App එකක් හඳුන්වා දී ඇත. සන්නිවේදන සමාගම් රාජ්‍ය අධ්‍යාපනයේ නාමයෙන් පනහේ සීයේ ඬේටා කාර්ඞ් වටේ විසිකරයි. අයෙක් අහුලයි. අයෙක් උඩ බලයි. අයෙක් අතපායි. එය කෝවිඩ් අරමුදලට වැඩිම ආධාර කළ සන්නිවේදන සමාගම බවට ද පත්වේ. එම Ad එකද මාධ්‍ය සංදර්ශන මැද මේ මාධ්‍යයම අපට විකුණයි. ස්ටාලින් යුගයේ වීරයාට අදිමින් අලූත් ආණ්ඩුවක් ගෙන ඒමට උත්සහ කරයි.

කෝවිඞ් වසංගතය නිසා මරණය වැළඳගත් බලවත්, තෙදවත්, ජනප‍්‍රිය බොහෝ අය ගැන කඳුළු සලනා බහුතර ජනතාව ඒ අය ප‍්‍රතිකාර ගන්නා නවීන තාක්ෂණික රෝහල් දෙස බලා කළුබෝවිල රෝහලේ හිස් අවකාශයක දෙවියන් හමුවේ.

මෙම ව්‍යසන කාලයේ දෙවියන්ගේ කමිටුව චිත‍්‍රපටියෙන් එළියට විත් අවට ලෝකය දෙස බලන්න යැයි ඉඟියක් දෙයි. ජීවිතය කොතරම් අනිත්‍ය ද යන්න නිරන්තරයෙන් පේ‍්‍රක්ෂකයාට මතක් කර දෙමින් සෑම විටම අවිනිශ්චිත තාවයේ ස්වරයක් එය මුමුණයි. කෙසේ වෙතත් දෙවියන් වහන්සේගේ කමිටුවෙහි ස්වරය අවසානයේ බලාපොරොත්තු සුන් වීම නොව බලාපොරොත්තුවයි. මොන දේ සිදු වුවත් වෙනසක් ඇති කිරීමට සටන් කරනා මිනිසුන් සිටිනා බව දැන සිටීමෙන් නරඹන්නාට සැනසීමක් ඉතිරි වේ. නමුත් සටන් කිරීම යනු කුමක්දැයි යන්න ගැන එය අපට නව මානයක් දෙයි. මෙය සතුටුදායක චිත‍්‍රපටියක් නොවන නමුත් එය අනවශ්‍ය ලෙස පීඩාවට පත් කිරීමක් හෝ වේදනාවක් ගෙන දෙන දෙයක් නොවේ. එය අප වසාගෙන ඔඩු දුවන නරුමවාදයේ මෘදු බව අපට පසක් කරයි.

– විරාජ් ලියනාරච්චි –

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top