කලා

Merlin ගෙන කතා කරමුද?

(UTV | කොළඹ) – Merlin කියන්නේ ලෝකයේ වගේම ලංකාවේත් රසිකයින්ගේ හදවත්වලට වැඩියෙන්ම ලං වුනු ටෙලි කතා මාලාවලින් එකක්. තරුණ වැඩිහිටි බේදයක් නැතිව Merlin වටා එක් වුනු විශාල ප්‍රේක්ෂකාගාරයක් ලංකාවේ ඉන්නවා. විශේෂයෙන්ම පාසල් ළමුන් අතරේ කාලයක් ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන වුණෙත් Merlin බව නොරහසක්.

එහි අවසන් කතා සමයෙන් බොහෝ කාලයක් යනකනුත් රසිකයින් බලා සිටියේ අලුත් season එකකට මර්ලින් renew වෙයි කියලයි. මර්ලින් නැමැති තරුණ මායාකරුවාත්, ආතර් නැමැති කැමිලොට් රාජ්‍යයේ උරුමකරුවාත් අතර දිග හැරුණු අපූරු කතාන්දරය ඒ තරමටම ලෝකය පුරා ආදරය දිනා ගත්තා. T.A. Barron නැමැති විශිෂ්ට රචකයාගේ නවකතා මාලාවක් අනුසාරයෙන් එසේ නිපදවුණු Merlin ටෙලි කතා මාලාව, නව මුහුණුවරකින් නැවතත් බලන්නට ලැබෙන බව පසුගිය දිනෙක Merlin රසිකයන්ට ආරංචි වුනා. ඒ live-action සිනමාපටයක් විදිහටයි. Merlin නවකතා සහ රූපවාහිනී වැඩසහටන්වලට ලැබුණු අතිශය සාර්ථකත්වය නිසාම මෙහි live-action චිත්‍රපටයක් නිපදවන්න Disney ආයතනය ගිවිසුම්ගත වෙලා තියෙනවා.

හොලිවුඩ් ආරංචිමාර්ග වාර්තා කරන විදිහට Michael Matthews තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් සම්බන්ධ වෙන්නේ. Love and Monsters චිත්‍රපටය තුළින් සිනමා ලෝකයේ හුරුපුරුදු චරිතයක් බවට පත් වුනු ඔහු තවමත් අධ්‍යක්ෂණය කර තිබෙන්නේ නිර්මාණ දෙකක් විතරයි. නමුත් ඔහුගේ දෙවන අධ්‍යක්ෂණය වූ Love and Monsters සිනමාපටය, Academy Awards හි Best VFX කැටගරියටත් නිර්දේශ වෙමින් අති-සාර්ථක වුනා. Dylan O’Brien සහ Jessica Henwick ප්‍රධාන චරිත රඟන Love & Monsters සිනමාපටය monster adventure ගණයට අයත් වන්නක්. විචාරකයන් සහ ප්‍රේක්ෂකයින්ට පවා ඊට දැක්වූයේ බොහොම සුබවාදී ප්‍රතිචාරයක්. අත්දැකීම් අඩු නිර්මාණකරුවෙකු වුණත්, Love and Monsters චිත්‍රපටයේ සාර්ථකත්වය Michael Matthewsට අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් ස්ථාවර වෙන්න බොහොම උපකාරී වේවි කියලයි ඇතමුන් දැනටත් පවසන්නේ. ඇතැම්විට Merlin වැනි ලෝ පුරා ආදරයට පත් වුණු origin එකක් අධ්‍යක්ෂණය කරන්නට ඔහුට අවස්ථාව ලැබෙන්නෙත් Love and Monsters චිත්‍රපටය නිසාම විය හැකියි.

නමුත්, Michael Matthewsට මේ අවස්ථාව ලැබෙන්නේ දෙවෙනි තෝරා ගැනීමක් විදිහට. මොකද චිත්‍රපටය ආරම්භයේදී අධ්‍යක්ෂකවරයා වශයෙන් සම්බන්ධ කරගන්න තීරණය කොට තිබුනේ ඔහු නෙමෙයි. Alien, The Martian, Gladiator, Robin Hood වැනි සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක Ridley Scottට මේ නිර්මාණය බාර දෙන්න නිෂ්පාදකයින්ට උවමනා වුණත් ඔහුගේ කාර්යබහුලත්වය නිසයි Michael Matthewsට මේ අවස්ථාව ලැබෙන්නේ. Ridley Scott අධ්‍යක්ෂණය කළ The Last Duel සහ House of Gucci චිත්‍රපට ද්විත්වයත් ළඟදීම අපට නරඹන්නට හැකි වේවි.

Merlin කියන්නෙත් Love & Monsters වගේම Monster Adventure ශානරයට අයත් කතාවක්. මායාව තහනම් කැමිලොට් රාජධානියේ අනාගත උරුමකරුවා වන ආතර් කුමාරයාත්, ඔහුට ආරක්ෂාව සපයමින් ඔහු සමඟින්ම සිටින මායාකරුවෙකු වන මර්ලින් නැමැති තරුණයාත් වටා ගෙතෙන මේ බ්‍රිතාන්‍ය නවකතා මාලාව ලෝකය පුරා වේගයෙන් ජනප්‍රිය වුණේ 2008 හි එම නමින්ම ඇරඹි ටෙලි කතා මාලාව නිසයි. එය ලෝකයේ රටවල් 180කට අධික ප්‍රමාණයක විකාශනය වෙලා තියෙනවා. ඇකඩමි සම්මානලාභී Life of Pi නිෂ්පාදනය කළ Gill Netter විසින්ම මේ චිත්‍රපටයත් නිෂ්පාදනය කිරීමට නියමිතයි. මෙහි තිර පිටපත ලියන්නේ Chris Weitz විසින්. About A boy, Antz, Rogue One: A Star Wars Story වැනි ජනප්‍රිය ධාරාවේ නිර්මාණය රාශියක් රචනා කළ ඔහු වරෙක Best Adapted Screeplay සඳහා වන Academy සම්මානයටත් නිර්දේශ වුනා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top