කලා

Kaithi 02 නැරඹීමට සූදානම්ද?

(UTV | කොළඹ) – 2019 වර්ෂයේදී තිරගත වුණු ඉන්දියානු සිනමාපට අතුරින් Kaithi දෙමළ චිත්‍රපටයට සුවිශේෂී අවධානයක් ලැබුනා. ප්‍රේක්ෂකයින් මෙන්ම විචාරකයින් ද Kaithi චිත්‍රපටය ගැන දැක්වූයේ බොහොම ධනාත්මක ප්‍රතිචාරයක්. Box-Office වාර්තාවලිනුත් ඉන්දීය කෝටි 100කට අධික ආදායමක් රැස් කරගන්නට එයට හැකියාව ලැබුනා. වසරේ වැඩිම අවධානයක් දිනාගත් නිර්මාණයක් බවට පත් වෙමින් Kaithi ලැබූ මෙම සාර්ථකත්වය නිසාම, චිත්‍රපටයේ දෙවන කොටසක් ගැනත් විවිධ මත පළවුනා.

අධ්‍යක්ෂක Lokesh Kanagaraj සිනමාපටයේ දෙවන කොටසක් අධ්‍යක්ෂණය කරන්නට සූදානම් බව සැලවුණත් කාලයක් යනතුරුම මේ ගැන නිල තොරතුරක් රසිකයින්ට දැනගන්නට ලැබුනේ නැහැ. නමුත් පසුගිය මැයි මාසයේදී මුල් චිත්‍රපටයේ නිෂ්පාදකයා වූ S. R. Prabhu විසින් Kaithi චිත්‍රපටයේ sequel නිර්මාණයක වැඩකටයුතු සිදු වෙමින් පවතින බව conform කළා. දැන් ලැබෙන නවතම තොරතුරුවලට අනුව, අධ්‍යක්ෂක Lokesh Kanagaraj විසින් Kaithi 02 හි තිරපිටපත ලියා අවසන් කර ඇති බවයි සැලවෙන්නේ…

රධාන පෙළේ ඉන්දීය මාධ්‍ය වාර්තා කරන විදිහට මුල සිටම නිෂ්පාදකයින්ගේ අදහස වී ඇත්තේ මෙය කොටස් දෙකක් වශයෙන් නිර්මාණය කිරීමටයි. Kaithi පළමු චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවන කාලයේදී ම, අධ්‍යක්ෂක Lokesh Kanagaraj දෙවන චිත්‍රපටයට අයත් දර්ශන විශාල ප්‍රමාණයක රූගත කිරීම් ද අවසන් කර තිබෙනවා. එසේ වුවත්, පළමු කොටසට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කෙසේද යන්න දැන ගැනීම සඳහායි sequel චිත්‍රපටය ගැන කිසිවක් නිවේදනය නොකර සිටීමට ඔවුන් පෙළඹී තිබෙන්නේ.

පළමු නිර්මාණය වගේම මෙයත් S. R. Prabhu විසින් Dream Warrior Pictures බැනරය යටතේ නිෂ්පාදනය කිරීමට නියමිතයි. Kaithi: Chapter 02 නිෂ්පාදන කණ්ඩායම සහ තාක්ෂණික ශිල්පීන් බහුතරයක් දෙනා පළමු චිත්‍රපටයට සම්බන්ධ වූ පිරිස ම බවත් අන්තර්ජාලයේ සඳහන් වනවා.
ඒ අනුව, කැමරා අධ්‍යක්ෂණයෙන් Sathyan Sooryan සහ සංස්කරණයෙන් Philomin Raj මීට එක්වීමට නියමිතයි. බොහෝවිට, මුල් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ Sam C. S. දෙවන දිගහැරුමේ සංගීත අධ්‍යක්ෂණය සිදු කිරීමටත් හැකියාව පවතිනවා.

2021 වසර මුලදීම Kaithi දෙවන චිත්‍රපටය ගැන තහවුරු වුණත්, එහි නිෂ්පාදන කටයුතු ඇරඹීම මදක් ප්‍රමාද වන ආකාරයක් දක්නට ලැබුනා. ඊට හේතුව වුණේ අධ්‍යක්ෂක Lokesh Kanagaraj, දමිළ නලු කමලාසන්ගේ Vikram චිත්‍රපටයේ රූපගත කිරීම් නිසා කාර්යබහුල තත්වයකයි සිටීමයි. Vikram රූගති කිරීම්වලින් පසු ඔහු සහ විජේ සුසංයෝගයෙන් නිමැවෙන දෙවන චිත්‍රපටයේ රූපගත කිරීම් සිදු කරන බවයි මුලදී ආරංචි වුණේ. නමුත් දින ප්‍රශ්නයක් නිසා ඒ සැලසුම් මදක් වෙනස් වී තිබෙනවා. දැන් ආරංචි වන ආකාරයට, Kaithi 02 රූපගත කිරීම් ඉක්මනින් අවසන් කිරීමට ලොකේෂ් තීරණය කර තිබෙනවා. ඒ අනුව, ඔහු සූදානම් වෙන්නේ 2022 වසරේ දෙවන භාගය වන විට Kaithi 02 හි රූපගත කිරීම් සහ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීමටයි.

Vamsi Paidipalliගේ අධ්‍යක්ෂණය යටතේ රංගන ශිල්පී Vijay සම්බන්ධ වෙන සිනමාපටයක දින සැලසුම් යම් වෙනස්වීමකට ලක්ව තිබෙන නිසායි විජේ-ලෝකේෂ් සිනමාපටයත් ප්‍රමාද වන බව දක්නට ලැබෙන්නේ. Lokesh Kanagaraj විසින් කයිති චිත්‍රපටයේ වැඩ කටයුතු ඉක්මනින් ඇරඹීමට තීරණය කර තිබෙන්නේ ඒ හේතුව නිසායි. ඒ අනුව ජනප්‍රිය නලු Karthi, Arjun Das සහ Narain ප්‍රධාන රංගනයෙන් එක්වන Kaithi දෙවන දිගහැරුමේ නිෂ්පාදන කටයුතු 2022 මැයි-ජුනි මාසවලදී ඇරඹිමට නියමිතැ යි කොලිවුඩ් මාධ්‍ය සනාථ කර තිබෙනවා.

2019 ඔක්තෝබර් 25වනදා තිරගත වීම ඇරඹි Kaithi, Assault on Precinct 13 (1976) නැමැති හොලිවුඩ් චිත්‍රපටය ආශ්‍රයෙන් නිපදවුණු action-thriller කාණ්ඩයේ නිර්මාණයක්. “දිල්ලි” නැමැති ප්‍රධාන චරිතය රඟපෑ කාර්ති හැරුණුවිට Narain, Arjun Das, Harish Uthaman, George Maryan සහ Dheena වැනි ශිල්පීන් බොහෝ දෙනෙක් ඊට රංගනයෙන් සම්බන්ධ වුනා. Kaithi චිත්‍රපටය ගොඩ නැඟී තිබෙන්නේ වස ශරීරගත වූ පොලිස් නිලධාරීන් පිරිසක් මරණයෙන් බේරා ගැනීමට උත්සාහ දරන දිල්ලි නැමැති සිරකරුවාගේ කතාව වටායි. ප්‍රධාන නිලියක් දක්නට නොලැබෙන මේ සිනමාපටයේ ගීත කිසිවක් අඩංගු වන්නේ ද නැහැ. කෝටි 105ක පමණ Box-Office ආදායමක් රැස් කරගත් මෙම Blockbuster සිනමා නිර්මාණය විවිධ සම්මාන උළෙලන් ගණනාවකදී ජයග්‍රහණ 12ක් හිමි කරගත්තා. නිර්දේශවීම් සංඛ්‍යාව 20කට ආසන්නයි.

Aviyal aval සහ Maanagaramට පසුව Lokesh Kanagaraj අධ්‍යක්ෂණය කළ තුන්වන චිත්‍රපටය වන්නේ මෙයයි. Kaithi හි සාර්ථකත්වයත් සමඟ තමන්ටම ආවේණික ප්‍රේක්ෂකාගාරයක් ගොඩ නඟා ගන්නට ලොකේෂ් සමත් වුනා වගේම Master සිනමාපටය හරහා ඔහු තමන්ගේ එම ජනප්‍රියත්වය උපරිම තලයකට රැගෙන ගියා.

Kaithi චිත්‍රපටය දමිළ නලු කාර්තිගේ රංගන ජීවිතයේ ත් වැදගත් කඩයිමක් යැයි බොහෝ දෙනා පවසනවා. බොහෝ කාලයක් තිස්සේ එකම රාමුවක චරිත කිහිපයකට කොටු වී සිටි Karthiගෙන් වෙනස්ම ආකාරයේ චරිත නිරූපණයක් දැකගන්න Kaithi (2019) හරහා අවස්ථාව ලැබුනා. තමන්ගෙන් ගිලිහෙමින් තිබුණු රසික ජනප්‍රියත්වය යළි තමන් වටා එකතු කරගන්නට Karthiට උපකාරී වුණෙත් මේ චිත්‍රපටයයි. කෝටි 100කට අධික ආදායම් වාර්තාව ඊට හොඳම නිදසුනක්…

මේ වනවිට Kaithi චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණයක් සිදුවන බවටත් දැනුම් දී හමාරයි. එහි ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට නියමිතව ඇත්තේ රංගන ශිල්පී Ajay Devgan විසිනුයි. මුල් දමිළ චිත්‍රපටය එලෙසින්ම ප්‍රතිනිර්මාණය නොකර, උතුරු ඉන්දියානු රසිකයින්ට ගැළපෙන ආකාරයට එම තිර පිටපතේ යම් වෙනස්කම් කිහිපයකුත් වෙලා තියෙනවා. කෙසේ නමුත් හින්දි ප්‍රතිනිර්මාණය ගැන වැඩිදුර විස්තරයක් නම් තවමත් මාධ්‍යයට ලැබී නැහැ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top