කලා

Ghosted සිනමාපටයෙන් Scarlett Johansson ඉවතට

(UTV | කොළඹ) – Chris Evans සහ Scarlett Johansson රංගනයෙන් එක් වීමට නියමිත Ghosted නැමැති චිත්‍රපටය ගැන ලෝ පුරා රසිකයන් අතරේ ඇති වුණු කතාබහ ඔබට මතක ඇති. විශේෂයෙන්ම, ඔවුන් Avengers චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිත ද්විත්වයක් නිරූපණය කළ ශිල්පීන් දෙදෙනෙකු වුණු නිසාම බොහෝ Marvel රසිකයින් පවා බලාගෙන හිටියේ Ghosted සිනමාපටය නිකුත් වෙන තුරුයි. කැප්ටන් ඇමරිකා සහ බ්ලැක් විඩෝව් නැවතත් එකම සිනමාපටයකින් දැකගන්න ලැබෙන නිසා චිත්‍රපටයේ රූගත කිරීම් සහ පෙර-නිෂ්පාදන කටයුතු ගැනත් විශාල උනන්දුවක් හොලිවුඩ් ප්‍රේක්ෂකාගාරය තුළ තිබුණා. නමුත් Ghosted හි නිෂ්පාදකයින් විසින් මෙම තීරණය වෙනස් කර තිබෙන බවට හොලිවුඩ් මාධ්‍ය විසින්ම පසුගියදා අණාවරණය කර තිබෙනවා. සිනමාපටයේ ප්‍රධාන කාන්තා චරිතයට තෝරාගෙන තිබුණු Scarlett Johansson එයින් ඉවත් වී තිබෙන බවයි ඔවුන් වැඩිදුරටත් වාර්තා කරන්නේ. චිත්‍රපටයෙන් ඉවත් වූ Scarlett Johansson වෙනුවට රංගන ශිල්පිනී Ana De Armasව ඊට සම්බන්ධ කර ගැනීමට නිෂ්පාදකයින් තීරණය කර තිබෙනවා.

Blade Runner 2049, Overdrive, Knives Out වැනි චිත්‍රපට හරහා අපට සමීප වුණු Ana De Armasගේ අලුත්ම චිත්‍රපටය No Time to Die ලෝ පුරා සිනමාශාලාවල තවමත් තිරගත වනවා. Daniel Craig විසින් James Bond චරිතය නිරූපණය කරන අවසාන 007 චිත්‍රපටය එය වීමත් විශේෂත්වයක්. Ana De Armasගේ සරාගී බව සහ ආකර්ෂණීය පෙනුම නිසාම දිනෙන් දින ඇගේ ජනප්‍රියත්වය වර්ධනය වන බව නොරහසක්. ප්‍රමුඛ පෙළේ entertainment වෙබ් අඩවි වාර්තා කරන විදිහට, ලෝකයේ වේගයෙන්ම ජනප්‍රිය වන රංගන ශිල්පිනියන් අතරට ඇයත් එකතු වී අවසානයි. ඇය සහ Chris Evans දෙදෙනාම මීට පෙර Knives Out චිත්‍රපටය හරහාත් අපිට දැකගන්න ලැබුණා. වාර්තා වෙන අන්දමට Ghosted නිර්මාණය වෙන්නේ සිනමාශාලා ප්‍රදර්ශනය වෙනුවෙන් නෙමෙයි. සිනමාශාලා ප්‍රදර්ශනය මඟ හරමින් Apple TV+ ඔස්සේ Direct OTT මාධ්‍යයෙන් නිකුත් වන මෙය romantic action-adventure චිත්‍රපටයක් බවත් අන්තර්ජාලයේ සඳහන් වනවා.

Ghosted හි අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන්නේ Dexter Fletcher. Dexter මීට පෙර අධ්‍යක්ෂණය කළ Eddie: The Eagle, Rocketman සහ Bohemian Rhapsody වැනි නිර්මාණ සම්මාන පිට සම්මාන දිනාගත්තා වගේම ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගන්නත් සමත් වුණා. Rhett Reese සහ Paul Wernick දෙදෙනා විසින් Ghosted තිර පිටපත ලියා තිබෙනවා. Deadpool, Zombieland වැනි චිත්‍රපටවල තිර පිටපත් රචකයින් ලෙස කටයුතු කළේත් ඔවුන්මයි. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙන අයුරින් Ghosted හි නිෂ්පාදකවරයෙකු වශයෙනුත් Chris Evans මීට සම්බන්ධයි. කතා තේමාව 1970-1980 කාල සීමාවට අයත් වනු ඇති බවටයි ඔවුන් ඉඟි පළ කරන්නේ. නමුත් පිළිගත් මාධ්‍යයකින් එය තවමත් තහවුරු වී නැහැ. Scarlett Johansson වෙනුවට Ana De Armas තෝරා ගත් බව දැනුම් දීමත් සමඟම ඇතැම් රසිකයින් සහ විචාරකයින් ප්‍රසිද්ධියේම මේ තීරණයට විරුද්ධත්වය පළ කර තිබෙනවා. Scarlett Johansson මෙයින් ඉවත් වීමට හේතුව තවමත් අණාවරණය වී නැහැ.

2006 වසරේ Una rosa de Francia චිත්‍රපටය හරහා රංගනයට පිවිසි Ana De Armasව ජනප්‍රිය තලයේ රංගන ශිල්පිනියක් වූයේ Knock-Knock චිත්‍රපටයට සම්බන්ධ වීමත් සමඟයි. Keanu Reevesගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වුණු Knock-Knock සිනමාපටය Erotic ශාරනයට අයත් psychological thriller නිර්මාණයක්. තිරගත වුණු සමයේ වැඩි රසික-ආකර්ෂණයක් දිනා ගන්න සමත් නොවුණත්, ඊට පසු කාලයෙදි ලෝ පුරාම නැරඹූ නිර්මාණයක් වෙන්න Knock-Knock සිනමාපටයට හැකි වුණේ නොහිතපු විදිහට.

ඉන්පසුව Blade Runner 2049, Overdrive, War Dogs වැනි නිර්මාණ හරහා සිනමාව තුළ ස්ථාවර වෙන්න Ana De Armas සමත් වුණා. 2019 කියන්නේ Ana De Armasගේ රංගන ජීවිතයේ සාර්ථකම වසර විදිහට හැඳින්වුවත් වරදක් නැහැ. මොකද ඇගේ රංගන ජීවිතයේ වැදගත්ම සංදිස්ථානය විදිහට හැඳින්වෙන Knives Out නිකුත් වෙන්නේ 2019 වසරේදීයි. පිරිවැයට සාපේක්ෂව අතිශය සාර්ථක ආදායමක් ලබා ගත් Knives Out සිනමාපටයට, රසිකයින් සහ විචාරකයින්ගෙන් ලැබුණෙත් ධනාත්මක ප්‍රතිචාරයක්. චිත්‍රපටයේ කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළ Ana De Armas බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වුණා. Knives Out වෙනුවෙන් සම්මාන 13කට ආසන්න ප්‍රමාණයකට නිර්දේශ වූ Ana De Armas ඉන් සම්මාන 04ක් තමන් සතු කරගත්තා.

ඇගේ upcoming movies තුනක් පිළිබඳ විස්තර අන්තර්ජාලයට හරහා දැකගන්න පුලුවන්. ඉදිරියේදී නිකුත් වීමට නියමිත Deep Water නැමැති Erotic චිත්‍රපටයේදී ඇය රඟපාන්නේ Ben Affleck සමඟයි. එය Adrian Lyneගේ අධ්‍යක්ෂණයක්. සුප්‍රසිද්ධ ඇමරිකානු නිලි Marilyn Monroeගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන Blonde චිත්‍රපටයත් එළඹෙන වසරේ නිකුත් වීමට නියමිතයි. Marilyn Monroeගේ චරිතය Ana කෙසේ හසුරුවයිද යන්න ගැන රසිකයින් අතරේ දැනටමත් ලොකු hype එකක් දැකගන්න පුළුවන්. එහි සාර්ථකත්වය Anaගේ ඉදිරි සිනමා ගමනට විශාල බලපෑමක් වේවි. ඒ වගේම, මෙතෙක් සිනමා ඉතිහාසයේ වැඩිම පිරිවැයක් දැරූ Netflix චිත්‍රපටය වන “The Gray Man” සඳහාත් ඇය සම්බන්ධ වෙලා තිබෙනවා. එහි නිෂ්පාදන පිරිවැය පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 200කට ආසන්නයි. ඇනාට අමතරව Ghosted චිත්‍රපයේ ප්‍රධාන පිරිමි චරිතය රඟන Chris Evansවත් මේ හරහා අපට දැකගන්න පුළුවන්. ඒ අනුව Ghostedට පසු, ඇනා සහ ක්‍රිස් එක්ව රඟපාන තෙවන අවස්ථාව වන්නේ The Gray Man චිත්‍රපටයයි. එය අධ්‍යක්ෂණය කරන්නේ Avengers: Endgame, Infinity War, Extraction වැනි නිර්මාණ අධ්‍යක්ෂණය කළ Russo සහෝදරයින් විසිනුයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top