විදෙස්

පළමු වඳුරු උණ රෝගියා හමුවේ

(UTV |  වොෂින්ටන්) – යුරෝපා රටවල් කීපයක මෙන්ම, කැනඩාවේත්, ව්‍යාප්ත වන වඳුරු උණ වයිරසය ඇමෙරිකාවට පැමිණ ඇතැයි ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පැවැසීය.

වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පළමු වඳුරු උණ රෝගියා හමුවී ඇත්තේ මැසචුසෙට් ජනදයෙන් බවය.

එම රෝගියා මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බවත්, සමාජයේ වඳුරු උණ ව්‍යාප්තියක් සිදු නොවන බවත්, රෝගියාගේ තත්ත්වය ද බරපතල නොවන බවත් ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ පැහැදිලි කර තිබේ. හමුවුණු එම රෝගියා කැනඩාවේ ක්විබෙක් පළාතේ සංචාරයකනට ගොස් පැමිණි අයකු බව ද පැවැසෙයි.

මේ වනවිට ‘වඳුරු උණ’ වයිරස රෝගය පැතිරෙන රටවල් වන්නේ කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, පෘතුගාලය සහ ස්පාඤ්ඤයයි. ස්පාඤ්ඤයෙන් වාර්තා වූ ‘වඳුරු උණ’ රෝගීන් ගණන 49 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.

‘වඳුරු උණ’ වයිරසයේ ආරම්භය අප්‍රිකාවය. මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ බහුලව දකින්න ලැබෙන වයිරසයක් ලෙස ‘වඳුරු උණ’ සැලකෙයි. මෙය පැපොල (චිකන් පොක්ස්) වලට සමාන උණ රෝගී තත්ත්වයකි. මීට පෙර ද අවස්ථා කීපයකදී අප්‍රිකාවෙන් පිට රටවලින් ‘වඳුරු උණ’ රෝගීන් එක්කෙනා හෝ දෙදෙනා හෝ හමුවුවත්, මෙතරම් දරුණුවට වයිරස ව්‍යාප්තියක් සිදු නොවුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වර්තමානයේ සිදුවන ‘වඳුරු උණ’ ව්‍යාප්තිය සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් පසුවන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

‘වඳුරු උණ’ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ උණ සහ සමේ බිබිලි මතුවීමය. ‘වඳුරු උණ’ බරපතල රෝගයක් නොවන අතර රෝගය ඉක්මනින් සුවවීම හෝ සංකූලතා ඇති වීම හෝ සිදුවන්නේ, සිරුරේ ප්‍රතිශක්තිය අනුවය. ‘වඳුරු උණ’ වයිරසයේ ප්‍රභේද දෙකකි. එයින් දරුණු ප්‍රභේදය වන්නේ ‘කොංගෝ’ ප්‍රභේදයයි. මෙය කොංගෝව ආශ්‍රිතව පළමුවෙන් හඳුනා ගැනීම සිදුවී තිබේ. මෙම ප්‍රභේදය ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන්ට මාරකය. මෙම වයිරසයේ මරණ අනුපාතය සියයට 10 කි.

අනෙක් ‘වඳුරු උණ’ ප්‍රභේදය වන්නේ ‘බටහිර අප්‍රිකා වඳුරු උණ’ ප්‍රභේදයයි. මෙහි මරණ අනුපාතය සියයට එකක් පමණි. මහා බි්‍රතාන්‍යයේ පැතිරෙන්නේ මෙම ‘බටහිර අප්‍රිකා වඳුරු උණ’ බව තහවුරු වී ඇත.

‘අප්‍රිකා කලාපයට පමණක් සීමා වුණු මෙම වයිරසය, මීට පෙර වෙනත් රටවලට ව්‍යාප්ත වූයේ අට සැරයක් පමණි. එසේ වුවත් වාර්තා වූයේ රෝගීන් දෙදෙනෙක් හෝ තුන් දෙනෙක් පමණයි. වයිරස ව්‍යාප්තියක් සිදුවුණේ නැහැ. ඒත්, අද අපට දකින්න ලැබෙන්නේ වඳුරු උණ වයිරස ව්‍යාප්තිය අසාමාන්‍ය තත්ත්වයක්. මෙවැනි තත්ත්වයක් මීට පෙර දකින්න ලැබිලා නැහැ.” යැයි සනීපාරක්ෂාව සහ නිවර්තන කලාපීය රෝග සම්බන්ධ ලන්ඩන් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ජිමී විට්වර්ත් පවසා තිබේ.

‘වඳුරු උණ’ වයිරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1958 වසරේ දී අප්‍රිකානු වඳුරන්ගේ සිරුරුවලිනි. ‘වඳුරු උණ’ යනුවෙන් එය හැඳින්වෙන්නේ ද ඒ නිසාය.

වඳුරන් පමණක් නොව, මීයන්, ඌරු මීයන්, ලේනුන් ආදී ක්ෂීරපායී සතුන් හරහා ද මෙම වයිරසය මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වෙයි. මනුෂ්‍යයන් අතරේ වයිරස ව්‍යාප්තිය සිදුවීම ඉතා අඩු බව පැවැසෙයි. මනුෂ්‍යයන් අතරේ වයිරස ව්‍යාප්තිය සිදුවන්නේ රෝගී අයකු සමීපව ඇසුරු කරද්දීය.

මහා බ්‍රිතාන්‍යයෙන් පළමු වඳුරු උණ රෝගියා ලෙස හඳුනා ගැණුනේ මැයි 6 වැනිදා ය. එම ආසාදිතයා නයිජීරියාවේ සංචාරයකට ගොස් ආපසු ආ පිරිමි පුද්ගලයකු බව ද පැවැසිණි. ඉන්පසු දෙවැනි වඳුරු උණ රෝගියා වාර්තා වූයේ මැයි 18 වැනිදා ය.

එම දෙවැනි රෝගියා සහ පළමු රෝගියා අතරේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, දෙවැනි රෝගියාට වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි යන්න තවමත් සොයා ගැනීමට නොහැකි වූ බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසා තිබේ. ඉන්පසු බ්‍රිතාන්‍යයේ ප්‍රදේශ කීපයකින් තවත් රෝගීන් වාර්තා වූ අතර විද්‍යාඥයන්ට එය ද අබිරහසක් වී ඇතැයි පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top