ක්‍රීඩා

T20 ලෝක කුසලානය සඳහා තරගවදින සියලුම සංචිත

(UTV | කොළඹ) – මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන සියලුම සංචිත මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මෙවර තරගාවලිය සඳහා ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නැම්බියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, ඕමානය, පාකිස්ථානය, පැපුවා නිවුගිනියාව, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ශ්‍රී ලංකාව ඉදිරිපත් වනවා.

මේ වන විටත් අදාළ සියලුම රටවල් සිය සංචිත ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ලෝක කුසලානයේ පළමු වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ තරග පිළිවෙළින් ඕමානයේ දී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනු ඇති අතර එහි දී ශ්‍රී ලංකාව අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාව සමඟින් තරග වැදීමට නියමිතයි.

* පළමු වටයේ තරග කාණ්ඩ දෙක :

A කාණ්ඩය – ඕමානය, පැපුවා නිව් ගිනියාව, බංග්ලාදේශය , ස්කොට්ලන්තය

B කාණ්ඩය – ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය, නැමීබියාව

* සුපිරි 12 වටයේ කාණ්ඩය දෙක :

පළමු කාණ්ඩය – ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, A කාණ්ඩයේ පළමු ස්ථානය, B කාණ්ඩයේ දෙවන ස්ථානය

දෙවන කාණ්ඩය – ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, A කාණ්ඩයේ දෙවන ස්ථානය, B කාණ්ඩයේ පලමු ස්ථානය

කණ්ඩායම් 8ක් පළමු වටයේ දී තරග කරන අතර ඉන් කණ්ඩායම් 4ක් (කාණ්ඩ දෙකේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක) සුපිරි 12 වටය වෙත සුදුසුකම් ලබා ගන්නා අතර සුපිරි 12 වටය සඳහා මේ වන විටත් කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා අවසන්.

ඔක්තෝබර් 23 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන සුපිරි 12 වටය සඳහා තරග 30ක් ඇතුළත් වෙනවා. එහි දී කාණ්ඩ දෙකකට කණ්ඩායම් 6ක් ඇතුළත් වන පරිදි තරග පැවැත්වෙනවා.

එක් කාණ්ඩයක සිටින සෑම කණ්ඩායමක්ම එහි අනෙක් කණ්ඩායම් සමඟ එක තරගය බැගින් ක්‍රීඩා කරන අතර අවසානයේ දී ඒ ඒ කාණ්ඩයේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් 4ක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

එහි පළමු අවසන් පූර්ව තරගය අබුඩාබි හිදී පැවැත්වෙන අතර එහි දෙවැනි අවසන් පූර්ව තරගය ඩුබායි හිදී පැවැත්වෙනවා. එම තරගවල දී ජය ගනු ලබන කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා ඩුබායි හිදී මුණගැසීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top