කලා

හොලිවුඩයට අභියෝග කරන මරාති සිනමාපටයක්

(UTV |  ඉන්දියාව) – ආසන්න වසර කිහිපය තුළදී කුඩා ඉන්දීය ප්‍රාන්තීය සිනමා කර්මාන්ත ගණනාවක් තමන්ගේ ප්‍රේක්ෂකාගාරය විශාල වශයෙන් වර්ධනය කරගන්න සමත්ව තිබෙනවා. මීට ප්‍රධානම හේතුව එකිනෙකට වෙනස් සහ නැවුම් storylines ඉදිරිපත් කරන්නට ඔවුන් පෙළඹීමයි. ප්‍රධාන ධාරාවේ හින්දි සිනමාව වටා රොක්ව සිටි ප්‍රේක්ෂයින් බොහෝ දෙනෙක් මෙනිසා, අනෙක් ඉන්දීය සිනමා කර්මාන්ත නරඹන්නත් හුරු වුනා. පහුගිය වසර කිහිපය තුළ මරාති සිනමා කර්මාන්තයේ වර්ධනය සිදු වූයේත් මේ ආකාරයටයි. මහාරාෂ්ට්‍රය මුල් කර ගනිමින් ගොඩ නැඟුනු මරාති සිනමාව ඉන්දියාවේ පරණම සිනමා කර්මාන්ත කිහිපයෙන් එකක්. වාර්තාවල දැක්වෙන අන්දමට මුල්ම මරාති සිනමාපටය වන Shree Pundalik නිෂ්පාදනය වී තිබෙන්නේ 1912 තරම් ඈතකදී යි.

එතැන් සිට විවිධ කඩඉම් පසු කරමින් පැමිණ මරාති සිනමාවේ අලුත්ම පියවරක් ගැන පසුගිය නොවැම්බර් මාසයේදී තොරතුරු එළිදරවු වුනා. ඒ Hollywood ස්ටුඩියෝවක් හා සුසංයෝගයෙන් නිර්මාණය වීමට යන ඵෙතිහාසික මරාති කතා පුවතක ප්‍රතිනිර්මාණයක් ගැනයි. මරාති සිනමා කර්මාන්තය තුළ Hollywood ස්ටුඩියෝවක සහයෝගය ඇතිව චිත්‍රපටයක් නිර්මාණය වෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි. Moghul Mardini Chhatrapati Tararani යනුවෙන් නම් තර තිබෙන මේ චිත්‍රපටයට පාදක වන්නේ Tarabai රැජිණගේ කතා පුවතයි. ඇය මහාරාෂ්ට්‍රයේ සිටි අධිරාජිනියක් වගේම රණ ශූරියක්. ඇය මූගල් වංශිකයින්, බ්‍රිතාන්‍යන්, සිද්ධි වංශිකයින් ඇතුළු සතුරු සේනා අටක් සමග එකදිගට සටන් කරමින් තම අධිරාජ්‍යය ආරක්ෂා කිරීමට උත්සාහ ගත් බව ඉතිහාසයේ සඳහන් වනවා. මෙහි ප්‍රධාන චරිතයට තෝරාගෙන තිබෙන්නේ වර්තමාන මරාති සිනමාවේ ජනප්‍රියම රංගන ශිල්පිනියක වන Sonalee Kulkarniයි. චිත්‍රපටයේ නිෂ්පාදකයින් විසින් සොනාලිගේ රුව සහිත පළමු පූර්ව ප්‍රචාර පෝස්ටරයත් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

Bakula Namadeo Ghotale හරහා රංගනයට පිවිසි ඇය Poshter Girl, Hirkani, Natarang සහ Ajintha වැනි ජනප්‍රිය මරාති චිත්‍රපට රාශියක රංගනයේ යෙදුනා. 2013 වසරේදී Grand Masti හින්දි සිනමාපටයේ ප්‍රධාන චරිතයක් සදහා සම්බන්ධ වෙන්නත් ඇයට හැකියාව ලැබුනා. Filmfare Awards කිහිපයකම හිමිකාරිනියක වන Sonalee, මරාති රියැලිටි වැඩසටහන් කිහිපයකම විනිශ්චය මණ්ඩලයටත් සහභාගී වූවා.. ඇය රඟපෑ Hirkani චිත්‍රපටය මෑතකාලීන මරාති සිනමාවේ වැදගත් සංදිස්ථානයක් ලෙසටත් ඇතැම් විචාරකයින් පවසනවා. Moghul Mardini Chhatrapati Tararani චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා මෙසේ සම්බන්ධ වීමට නියමිතව තිබෙන්නේ Black Hangar Studios නැමැති බ්‍රිතාන්‍ය සිනමා ආයතනයයි. බ්‍රිතාන්‍යයේ විශාලතම green screen එක අයිතිව තිබෙන්නෙත් මොවුන්ටයි. Rogue One: A Star Wars Story, Grand Isle, Dumbo වැනි ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් නිර්මාණ රාශියකට Black Hangar Studios සමාගමේ දායකත්වය ලැබී තිබෙනවා.

මීට පෙර තිරගත වුණු තවත් ඉන්දියානු චිත්‍රපටයක් වන සුප්‍රසිද්ධ බොලිවුඩ් නළු ශාරුක්ගේ Ra. One සුපර්-හීරෝ සිනමාපටය සඳහාත් මෙම බ්‍රිතාන්‍ය ආයතනය සම්බන්ධ වී තිබෙනවා. පෙරළිකාර මරාති චිත්‍රපටයක් විය හැකි බවට අනාවැකි කියැවෙන මෙය, නිෂ්පාදනය වන්නේත් මහාරාෂ්ට්‍රයේ දැවැන්ත සිනමා නිෂ්පාදන ආයතන ද්විත්වයක එකතුවෙන්. ඒ Akshay Bardapurkar ගේ PLANET MARATHI ott ආයතනය සහ Piiyush Singh ප්‍රධානත්වය දරන Golden Ratio Films ආයතනයයි.

PLANET MARATHI අධ්‍යක්ෂක Akshay Bardapurkar විසින් මේ නව චිත්‍රපටය ගැන මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

“Chhatrapati Tararani is going to be a golden page in the history of Marathi cinema. Planet Marathi and Golden Ratio are proud to take the story of the Maratha warrior queen ‘Chhatrapati Tararani’ to the world. “

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මෙය මරාති සිනමාවෙන් බිහිවන දැවැන්තම චිත්‍රපටයක් වනු ඇති බවයි. චිත්‍රපටයට සම්බන්ධ වන සෙසු රංගන ශිල්පීන් සහ තාක්ෂණික ශිල්පීන් ගැන මාධ්‍යයට දැනුම් දී නැතත් මේ සඳහා ඔහු තෝරා ගත්තේ අති-දක්ෂයින් පිරිසක් බව Akshay Bardapurkar විසින්ම පසුගියදා ප්‍රකාශ කළා. මරාති වෙබ් අඩවි දක්වන ආකාරයට මෙහි අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ Rahul Jadhavයි. Vijay Aso සහ Murder Mestri චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු තවත් මරාති නිර්මාණ ගණනාවකම Cinematographer ලෙසත් කටයුතු කර තිබෙනවා. 2022 දීපවාලියට සමගාමීව චිත්‍රපටයේ ප්‍රදර්ශනය ඇරඹීමට නිෂ්පාදකයින් සූදානම්ව සිටින බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top