කලා

හේමාල් රඟපෑ පළමු ඉන්දියානු චිත්‍රපටය Second Show දැන් තිරගත වේ

(UTV | කොළඹ) – ලාංකීය නලු හේමාල් රණසිංහ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන “සෙකන්ඩ් ෂෝ (Second Show)” නැමැති ඉන්දීය චිත්‍රපටය දිවයින පුරා සිනමාහල් වලදී දැන් තිරගත වනවා. දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුළ එකවර ප්‍රදර්ශනය ඇරඹි මෙම සිනමාපටය, දමිළ සහ සිංහල භාෂා ද්විත්වයෙන්ම මුදා හරින්නටත් එහි නිෂ්පාදකයින් විසින් කටයුතු කර තිබෙනවා.

සෙකන්ඩ් ෂෝ Horror/Thriller වර්ගීකරණයට අයත් චිත්‍රපටයක් වන අතර එහි කතාව දිවෙන්නේ මිතුරන් පිරිසක් සහ නොසිතූ අයුරින් ඔවුන්ට මුහුණ දීමට සිදුවන අභිරහස් බලවේගයක් වටායි. එම අත්භූත බලවේගය ඔවුන් පසුපස හඹා එන ආකාරයත්, ඔවුන් එයින් ගැලවීමට දරන උත්සාහයත් මෙම චිත්‍රපටයට පාදක වී තිබෙනවා.

Second Show අධ්‍යක්ෂණය කර තිබෙන්නේ T. Gnanam නැමැති ඉන්දියානු ජාතික සිනමාකරුවා විසිනි. මෙය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ පළමු සහ කුළුදුල් සිනමාපටය වීම ද විශේෂත්වයක්.

පසුගිය ජූලි 08 වනදා සිට තිරගත වීම ඇරඹි මෙම චිත්‍රපටය ලාංකීය සිනමාශාලාවලට නිකුත් වූයේ EAP බෙදාහැරීමක් ලෙසයි. මුලදී ජුනි 23 වනදා සිට දිවයින පුරා තිරගත වීම ඇරඹීමට කටයුතු සූදානම් කර තිබුණ ද තමිල්නාඩු නිෂ්පාදකවරුන්ගේ ඉල්ලීමක් අනුව එය පසුව ජුලි මාසය දක්වා කල් දමන්නට සිදු වුනා.

ඒ අනුව පසුගිය ජුලි 08 වනදා සිට ලාංකීය ප්‍රදර්ශනයට Second Show මුදා හැරුනු අතර, ඊට සමගාමීව තමිල්නාඩු ප්‍රාන්තයේ සිනමාශාලා 200කට අධික ප්‍රමාණයකද මෙහි පුළුල් තිර ප්‍රදර්ශනය ඇරඹුනා.

මෙම Second Show සිනමා නිර්මාණය හේමාල් රණසිංහ රංගනයෙන් දායක වූ පළමු ඉන්දීය චිත්‍රපටයයි. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය මුල් කරගත් දමිළ සිනමා කර්මාන්තයෙන් ලද ඇරයුමක් අනුව ඔහු ඊට සම්බන්ධ වන අතර චිත්‍රපටය සඳහා හේමාල්ව යෝජනා කර තිබෙන්නේ කෞෂල්‍යා වික්‍රමසිංහ විසිනුයි. වසර 10කට වැඩි කාලයත් තිස්සේ සිනමාවට සම්බන්ධව සිටින ඇය මින් පෙර මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “යශෝදරා” චිත්‍රපටයෙ හි විධායක නිෂ්පාදකවරිය ලෙසත් කටයුතු කළා. Second Show, ඇය නිෂ්පාදනය කරනු ලබන පළමු චිත්‍රපටයයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top