කලා

මාතෘත්වයට පිදෙන Happy Birthday දිවයින පුරා

(UTV | කොළඹ) – කෝවිඩ් වසංගත තත්වය නිසා 2020-2021 කාලයේදී දේශීය සිනමාපට නිකුත් වීම මඳක් අඩාළ වුණත් පසුගිය වසර අවසාන භාගයේ සිට නැවතත් සුපුරුදු පරිදි ලාංකීය චිත්‍රපට ගණනාවක්ම මෙරට සිනමාහල් පුරා තිරගත වීම ආරම්භ වුනා. විශේෂයෙන්ම 2022 වසරට පා තබා තවමත් ගත වූයේ මාස තුනකටත් අඩු කාලයක් වූවද මේ කෙටි කාල සීමාව තුළ ලාංකීය නිර්මාණකරුවන් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට 04කට නොඅඩු ප්‍රමාණයක් දිවයින පුරා සිනමාශාලා ප්‍රදර්ශනය ආරම්භ කළා.

අශෝක හඳගමගේ ඇල්බොරාදා, එරංග සේනාරත්නගේ මොනාලිසා, තේජා ඉද්දමල්ගොඩගේ ආශාවරී සහ ප්‍රීතිරාජ් වීරරත්නගේ රශ්මි එසේ තිරගත වීම ආරම්භ කළ ලාංකීය චිත්‍රපට 04 වනවා.

ඒ නිර්මාණවලට පසු 2022 වසරේ මුදාහරින 05වන ලාංකීය චිත්‍රපටය වශයෙන් පසුගියදා ප්‍රදර්ශනය ඇරඹියේ දිල්හානි අශෝකමාලා සමඟින් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ප්‍රධාන චරිත රඟන හැපී බර්ත්ඩේ (Happy Birthday) සිනමා නිර්මාණයයි. අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය Stein Films නිෂ්පාදනයකි. Happy Birthday සිනමාපටයේ කතා තේමාව ගෙතෙන්නේ මවක් සහ ඇගේ දියණියන් දෙදෙනාට මුහුණ පාන්නට සිදුවන ත්‍රාසජනක අත්දැකීමක් වටායි.

නීටා සපරමාදු, ඇගේ දියණියන් දෙදෙනා වන නතාලි සහ වෙනුකි සමඟින් සිය පියාට අයත් වතු බංගලාවක් වෙත පැමිණෙන්නේ නතාලිගේ උපන්දින සැමරුම වෙනුවෙනුයි. නතාලිගේ 18වෙනි උපන්දිනය සැමරීමට නීටා සපරමාදු සහ ඇගේ වැඩිමහල් දියණිය විසින් කුඩා උපන්දින සාදයක් සැලසුම් කර තිබෙන අවස්ථාවේදී ඔවුන් වෙත පැමිණෙන නොහඳුනන ආගන්තුකයින් පිරිසක් නිසා මවටත් දියණියන් දෙදෙනාටත් මුහුණ දෙන්නට සිදු වන්නේ ඔවුන් නොසිතූ අත්දැකීමකටයි. නීටාගේ පියා විසින් මිණිපිරියන් වෙනුවෙන් ඉතිරි කර ගිය රහස් දායාදයක්ද එදිනම ඔවුන් අතට පත්වීමට නියමිතව තිබුණත් ඒ සියල්ලම කණපිට හැරෙන්නේ හදිසි ආගන්තුකයින්ගේ පැමිණීම නිසායි.

හැපී බර්ත්ඩේ (Happy Birthday) සිනමා නිර්මාණයේ එතැන් පටන් කතාව ගෙතෙන්නේ නීටා සපරමාදු විසින් මෙම නොහඳුනන මැරයන්ගෙන් සිය දියණියන් දෙදෙනා ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහය වටායි.

නීටා සපරමාදුගේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ මෙරට සිටින ප්‍රවීණ රංගන ශිල්පිනියක වන දිල්හානි අශෝකමාලා විසිනුයි.

ඇගේ දියණියන් දෙදෙනා වන නතාලි සහ වෙනුකිගේ චරිතවලට පිළිවෙළින් ටාෂියා කාලිදාස හා යොහානි හෙට්ටිආරච්චි රංගන දායකත්වය ලබා දෙනවා. යොහානි හෙට්ටිආරච්චි මින් පෙර සිනමාපට ගණනාවකට සම්බන්ධ වී තිබුණද ටාෂියා කාලිදාසගේ පළමු සිනමා අත්දැකීම වන්නේ මෙයයි.

සිනමාපටය පුරාම දක්නට ලැබෙන වික්ටර්ගේ උපප්‍රධාන චරිතයට ඉසුරු ලොකුහෙට්ටිආරච්චි රංගනය ලබාදෙන අතර මැණිකාගේ චරිතයට පණ පොවන්නේ සුරංගා රණවක විසිනි. සූර්යා දයාරුවන්, රන්දික ගුණතිලක, ප්‍රසන්න දෙකුම්පිටිය සහ බන්දුල සූරියබණ්ඩාර අතිරේක නළුවන් අතර වනවා. මෙහි කලා අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ සුනිල් ප්‍රේමරත්න ද නීතිඥවරයෙකුගේ චරිතයකින් ඔබට දැකගත හැකියි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top