කලා

මලයාලම් සුරූපිණිය නැවතත් දමිළ සිනමාවට

(UTV |  චෙන්නායි) – Aishwarya Lekshmi කියන්නේ රංගන ජීවිතය පටන්ගෙන බොහොම කෙටි කාලයකින්ම දැවැන්ත සාර්ථකත්වයක් අත් කරගනිපු දකුණු ඉන්දීය නිළියක්.

2017දී තිරගත වුණු Njandukalude Nattil Oridavela මලයාලම් චිත්‍රපටය හරහා රංගනයට පිවිසි ඇයට, තම පළවෙනි චිත්‍රපටයෙන්ම කේරළය තුළ යම් රසික ජනප්‍රියත්වයක් ලබා ගන්නට හැකියාව ලැබුණා. Njandukalude Nattil Oridavela නරඹපු ඇතැම් විචාරකයින් පවා ප්‍රකාශ කළේ, ඉදිරියේදී ඇගේ රූපය හා රංගනය තුළින් එකල මලයාලමට අඩුවක්ව තිබුණු “අහිංසක පෙම්වතියගේ” චරිතය සම්පූර්ණ කරාවි කියලයි. ඔවුන් අදහස් කළා වගේම අද වනවිට මලයාලම් සිනමාවේ ප්‍රධාන ධාරාවේ රංගන ශිල්පිනියක වන්නට Aishwarya Lekshmiට හැකියාව ලැබී තිබෙනවා.

Mayaanadhi, Vijay Superum Pournamiyum, Varathan, Brother’s Day වැනි ජනප්‍රිය නිර්මාණ හරහා තමන්ගේ ජනප්‍රියත්වය වැඩි කරගත් ඵෙශ්වර්යා 2019 වසරේ Action දමිළ චිත්‍රපටයෙන් තමිල්නාඩු සිනමා කර්මාන්තයටත් පිවිසුණා. එතැන් පටන් දමිළ සිනමාපට තුනකට රංගනයෙන් දායක වුණු ඇයට Jagame Thandhiram චිත්‍රපටයේදී ධනුෂ් සමඟ රඟපෑමේ අවස්ථාවත් ලැබුණා. එය Jigarthanda, Petta, Pizza වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ Karthik Subbarajගේ නිර්මාණයක්.

මේ ආකාරයෙන් දකුණු ඉන්දීය සිනමා කර්මාන්තය තුළ සෙමෙන්, එහෙත් සාර්ථක ගමනක් යන ඇගේ හතරවන දමිළ සිනමා නිර්මාණය ගැන පසුගියදා මාධ්‍යයට දැනුම් දුන්නා. ඒ දමිළ රංගන ශිල්පී Arya ප්‍රධාන රංගනයෙන් එක් වන science-fiction සිනමාපටයක්… Arya රඟපාන 33වන චිත්‍රපටය වන මෙය විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් නිර්මාණයක් බවටයි මාධ්‍යයට ආරංචි වෙන්නේ. එහි ප්‍රධාන කාන්තා චරිතයට Aishwarya Lekshmi තෝරා ගෙන ඇති බව නිල වශයෙන් දැනුම් දුන්නත් ඇගේ චරිතය හෝ කතා තේමාව පිළිබඳ වැඩි විස්තරයක් තවමත් දැන ගන්නට ලැබී නැහැ.

අධ්‍යක්ෂක Shakti Soundar Rajan විසිනුයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. Naaigal Jaakirathai, Tik Tik Tik, Miruthan වැනි චිත්‍රපට නැරඹූ අයෙක් නම්, ඔබට ඔහුගේ නම අමතක වෙන්නට විදිහක් නැහැ. තමන්ගේ චිත්‍රපට තුළින් නිතරම වෙනස් වෙනස් අත්හදා ලැබීම් කරන්නට පෙළඹෙන පුද්ගලයෙක් ලෙසටයි Shakti Soundarව ක්ෂේත්‍රයේ ජනප්‍රිය වෙලා තියන්නේ. ඔහුගේ මුල් චිත්‍රපටය වන Naaigal Jaakirathai නිර්මාණයේ සිට අවසාන චිත්‍රපටය වන Teddy දක්වාම මේ ලක්ෂණය දැකගන්න ලැබෙනවා.

2023 වසරේ මුල භාගයේදී තිරගත කිරීමට සූදානම් වන මෙහි පූජා උත්සවය පසුගිය ඔක්තෝබර් 23වනදා චිත්‍රපටයට සම්බන්ධ ශල්පීන්ගේ මූලිකත්වයෙන් පැවැත්වුණා. ආර්යා, අයිෂ්වර්යා ඇතුළු ශිල්පීන් බොහෝමයක් ඊට සහභාගී වී තිබුණා. මේ දෙසැම්බර් මාසයේදී චිත්‍රපටයේ රූපගත කිරීම් ඇරඹීමට නියමිත බවත් ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන D.Imman විසින් මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කිරීමට නියමිතයි.

පසුගිය වසර කිහිපය තුළ දමිළ නලු Aryaගේ නිර්මාණ බොහෝමයක් සාර්ථක වුණේ නැහැ. ඒ වගේම සමාජ මාධ්‍ය තුළත් ඔහු පිළිබඳව එතරම් කතාබහට ලක් වුණු අවස්ථා දැකගන්න ලැබුණෙත් නැහැ. නමුත් සම්මාන විශාල ප්‍රමාණයක් ලබා ගත් Magamuni (2019) චිත්‍රපටය හා Sarpatta Parambarai (2021) චිත්‍රපටය නිසා රසිකයින් අතරේ නැවතත් කතාබහට ලක් වූ ඔහු Enemy (2021) චිත්‍රපටය හේතුවෙන් යළිත් කරළියට පැමිණ තිබෙනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top