ප්‍රමුඛ පුවත 1

“කෘෂි ,ධීවර ඇතුළු ක්‍ෂේත්‍ර රැසක පර්යේෂණ සඳහා ප්‍රතිපාදන ලබා දීමට සුදානම්”-ජනපති කියයි

(උදයම්,කොළඹ ) –  තේ කර්මාන්තය ඇතුළු වැවිලි හා කෘෂි ක්ෂේත‍්‍රයේ මෙන්ම සෞඛ්‍ය සහ ධීවර ඇතුළු සියලු ක්ෂේත‍්‍රවල පර්යේෂණ කටයුතු සඳහා ලබාදෙන ප‍්‍රතිපාදන ඉදිරියේදී තවත් ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ශී‍්‍ර ලංකාවේ තේ කර්මාන්තයට වසර එකසිය පනහක් සපිරීම සහ තලවකැලේ තේ පර්යේෂණායතනයේ වසර අනු දෙකක සේවා කාලය ඇගයීම නිමිත්තෙන් ඊයේ (21) තලවකැලේ තේ පර්යේෂණායතනයේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් පසු තලවකැලේ තේ පර්යේෂණායතනය වෙත පැමිණි ප‍්‍රථම රාජ්‍ය නායකයා වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී කාර්ය මණ්ඩලය විසින් මහත් හරසරින් යුතුව පිළිගත්හ.

ශී‍්‍ර ලංකා තේ පර්යේෂණායතනයට හා ශී‍්‍ර ලංකාවේ තේ වගා ක්ෂේත‍්‍රයට අමිල සේවාවක් ඉටුකරන ලද සේවක පිරිස ඇගයීම හා ඔවුන්ට උපහාර තිලිණ ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

අනතුරුව පැවතී උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ තේ කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය සම්පත් නොඅඩුව ලබාදීමට රජය කටයුතු කරන බවයි.

තේ පර්යේෂණායතනයේ සේවකයින් ස්ථීර කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඔවුන් ස්ථීර සේවකයින් ලෙස බඳවා ගැනීමට කටයුතු කරන බවයි.

එමෙන්ම කඳුකරයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග ඉහළ නංවමින් ඔවුන්ගේ සුබසාධනය සඳහා ගතහැකි සෑම පියවරක්ම ගැනීමට වත්මන් රජය කටයුතු කරන බව ද අවධාරණය කළ ජනාධිපතිතුමා විශේෂයෙන්ම කඳුකරයේ දරුවන්ගේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය පිළිබඳ රජය දැඩි අවධානයකින් කටයුතු කරන බවද කියා සිටියේය.

ශී‍්‍ර ලංකා තේ පර්යේෂණායතනය 1925 දී නුවරඑළිය ලින්ඩ්ෆීල්ඩ් වතුයායේදී ආරම්භ කෙරිණි. මෙරට තේ කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් ප‍්‍රධාන අංශ නවයක් යටතේ මෙහි පර්යේෂණ සිදු කෙරේ.

ශී‍්‍ර ලංකා තේ පර්යේෂණායතනය මගින් දීර්ඝ කාලීනව සිදුකරන ලද පර්යේෂණ මගින් සොයා ගන්නා ලද නියඟයට ඔරොත්තු දෙන ටී.ආර්.අයි 5000 කාණ්ඩයේ තේ ප‍්‍රභේද හතරක් ප‍්‍රථම වරට හඳුන්වාදීම අද සිදු කෙරුණු අතර ඉන් එක් ප‍්‍රභේදයක පැළයක් ජනාධිපතිතුමා අතින් තේ පර්යේෂණායතන පරිශ‍්‍රයේදී රෝපණය කෙරිණි.

තේ පර්යේෂණායතනයේ තොරතුරු කේන්ද්‍රය ද ජනාධිපතිතුමා අතින් නිල වශයෙන් විවෘත කෙරුණු අතර සේවාලාභින් සඳහා නව තාක්ෂණික කෙටි පණිවිඩ සේවාව ආරම්භ කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.

අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

අමාත්‍ය පී. දිගම්බර්න්, රාජ්‍ය අමාත්‍ය පී. රාධකි‍්‍රෂ්නන්, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද තේ පර්යේෂණායතනයේ සභාපති වෛද්‍ය එම්.එම්.ජේ.පී. ගවරම්මාන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top